Header Ads

‘ඝාතන මගින් ඇමෙරිකාව බියපත් නොවේ’- ඔබාමා

ස්ටීවන් සොට්ලොෆ් (Steven Sotloff ) මාධ්‍යවේදියා මරා දමනු ලැබීම මගින් එක්සත් ජනපදය බිය ගැන්විය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.
සිය මාධ්‍යවේදියා මරා දමන ලද
ම්ලේච්ඡත්වය මගින් ලෝකය ඉස්ලාමීය රාජ්‍ය ප්‍රහාරකයන් පිළිකුල් කරන තත්වයකට පත් වූ බව ජනාධිපති ඔබාමා පවසයි.
එස්තෝනියාවේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන සටන තවත් දැඩි වූ බවයි.
ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින කැරලිකරුවන් විසින් තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියකුගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටය පිළිගත හැකි එකක් බවත් එක්සත් ජනපදය පවසයි.
මුහුණ ආවරණය කර ගත් පුද්ගලයකු පිහියක් අතින් ගෙන ස්ටීවන් සොට්ලොෆ් (Steven Sotloff ) නම් ඇමෙරිකානු මාධ්‍යවේදියා පිටුපස සිටින දර්ශනයක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වීඩියෝ පටයෙහි දැක්වෙයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත ප්‍රාණ ඇපයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකු ද මරා දමන බවට තර්ජනයක් එම වීඩියෝ පටයට ඇතුළත් වෙන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ හදිසි සාකච්ඡාවක් අගමැති ඩේවිඩ් කැමරන්ගේ නායකත්වයෙන් පැවැත්වුන බවත් වාර්තා වෙයි.
ඉහත කී වීඩියෝ පටයේ අදහස් දක්වන ඉස්ලාමීය ප්‍රහාරකයා බ්‍රිතාන්‍ය ඌරුවෙන් ඉංග්‍රීසි බස හසුරුවන අතර ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි ක්‍රියා නතර කරන මෙන් ඔහු කැරලිකරුවන්ට එරෙහි විදේශීය සන්ධානයට අනතුරු ඇඟවීමක් කරයි.
එම ප්‍රහාරකයා මින් පෙර ඝාතනය කෙරුණ ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොලිගේ (James Foley) හිස ගසා දැමූ පුද්ගලයාම වන බව පෙනී යන බව, බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
bbc
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

Powered by Blogger.