“ඥාණසාර හිමියන්ගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා නඩුවක් දානවා” – ඇමති රාජිත

කොළඹදී අද (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමතිවරයා කියා සිටියේ තමන්ට අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කළ බවයි.
එහිදී ජනාධිපතිවරයා තමන්ට කියා සිටියේ “රාජිත ඒවාට උත්තර දෙන්න යන්න එපා” නඩු පවරන ලෙස යැයි ඇමතිවරයා කීවේය.
මෙය කුමන්ත්‍රණයක් බවත් තමන්ගේ මැතිවරණය ව්‍යාපාරයට ද මේ නිසා දැනටමත් හානියක් වී ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් රාජිත සේනාරත්න මහතා එහිදී පැවසීය.
කෙසේ හෝ තමන්ගේ ක්‍රමය එල්ල වන චෝදනාවලට පිළිතුරු දීම බැවින් මෙලෙස මාධ්‍ය හමුවක් පවත්වා අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යාම යැයි හෙතෙම පැවසීය.
ඒ අනූව උන්වහන්සේ විසින් තමන්ට එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බවත් එම නඩුවෙන් ජයග්‍රහණය කළහොත් ලැබෙන සම්පූර්ණ මුදල නීතිඥ ගාස්තු ගෙවීමටත් ජාතික ධීවර සම්මේලනයටත් ලබාදෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.
තමන්ට නිවාස කීයක් ඇතිදැයි ඥාණසාර හිමියන් විමසා ඇති බවත් තමන්ට ඇත්තේ 1983දී හදාගත් එකම නිවස බවත් ධීවරයින්ට නිවාස හදා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මෑතකදී සිය වාහනය විකුණා ඉඩමක් මිලට ගත් බවද පැවසීය.
වැල්ලේ ඉඳන් කෝටිපතියන් වූ අය ගැන නිර්මල බුද දහම වෙනුවෙන් පෙනී සිටින අය ද සොයා බැලිය යුතු බවත් පැවසු රාජිත සේනාරත්න මහතා බෞද්ධාගමික මෙන්ම අන්‍යාගමික කොටස් මෙම සිද්ධියේදී තමන් වෙනුවෙන් අදහස් දැක්වීමට සහය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බවද එහිදී කියා සිටියේය.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා නොකෙරෙන්නේදැයි මාධ්‍යවේදියෙකු එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී හෙතෙම කියා සිටියේ ඒ ගැන කැබිනට් රැස්වීමේදී කතා කරන්නේ තමන් පමණක් බැවින් දෙවැනියෙක් සොයමින් සිටින බවයි.
No comments