Header Ads

“කොස්තාපල් කොස්තාපල්ටම ගහගෙන රියටත් ගිනි තියලා” ඇමති හේමාල්

(හේමාල්) තමන්ගේ මෙහයවීමෙන් දකුණු අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඔහුගේ මෝටර් රථයට ගිනි තැබුවේ යයි පලවන වාර්තා අසත්‍ය බවත් එවැනි වරදක්
සක්කරයා කළත් ඊට දඬුවම් දිය යුතු බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පවසයි.
ඒ මහතා මෙසේ සඳහන් කලේ ප‍්‍රහාරයට ලක් වූ කොස්තාපල්වරයා නියෝජ්‍ය ඇමතිවරයාගේ නම සඳහන් කරමින් කර ඇති චෝදනාව පිළිතුරු දෙමිනි.
ගුණසේකර මහතා මෙසේ ද කීය.
‘පසුගිය දින දෙක තුනේම මම වැලිගම මගේ ගෙදරයි හිටියේ. අධිවේගී මාර්ගයේ පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇති බව මමත් දැන ගත්තේ මාධ්‍යයෙන්. ඒ සිද්ධිය වන විට මම පවුලේ සාමාජිකයින් සමඟ වැලිගම තානායමෙයි හිටියේ. අපි රාත‍්‍රී ආහාර ගන්න ගිහින් හිටියේ.
ඔය කියන කොස්තාපල්වරයා මීට සතියකට පමණ පෙර මම පාර්ලිමේන්තු යන විට අධික වේගයෙන් මෝටර් රථය පැඳ වූ බව පවසා මගේ රියදුරාට දඩ කොළයක් දීලා තිබුණා. ඉදිරිපස අසුනේ රියදුරා සමඟ සේවකයෙක් හිටියේ. පිටුපස අසුනේ මා සහ බිරිඳ සිටියා. ඒ වෙලාවේ මගේ රියදුරා කියා තිබුණා ජීප් රථය මන්ත‍්‍රීවරයෙකුගේ කියලා. එවිට කොස්තාපල් කීවා මට මොකා වණත් කමක් නැහැ කියලා.
මම රුපියල් දාහක් දඩය ලෙස ගෙවා කොස්තාපල්වරයා කතා කරපු විදිය හරි නැති නිසා ඔහු පිළිබඳව අධිවේගී මාර්ගයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේන් ගුණසේකර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
දැන් මට ඔය කොස්තාපල් කළු ද සුදු ද කියලත් මතක නැහැ. ඔහුගේ ගෙවල් තියෙන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ. මට දැනගන්නට ලැබුණ විදියට මේක ඒ කොස්තාපල්වරයා දේශපාලන රැකවරණය ලබා ගෙන රට යන්න කරපු උපක‍්‍රමයක්. ඒ නිසා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. කිසියම් පිරිසක් මෙය කළා නම් ඔවුන්ටත් කොස්තාපල් කරපු බොරුවක් නම් ඔහුටත් සක්කරයා වුණත් කමක් නැහැ දඬුවම් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
මම මත්පැන් පානය කරන දේශපාලනඥයෙක් නොවෙයි. බයිපාස් සැත්කමක් කරලයි ඉන්නේ. මට කාටවත් ගහන්න යන්න බැහැ. ඒත් ඇතැම් මාධ්‍ය මේ සිද්ධිය තුළින් මට මඩ ගහන්න පටන් අරගෙන තිබෙනවා. මට සිදු වී තිබෙන අපහාසයට විරුද්ධව මම නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා. මම ගෞරවාන්විත දේශපාලනයක නිරත වන බව හැමෝම දන්නවා’

No comments

Powered by Blogger.