56 හැවිරිදි අනංගයා 62 වියැති කතකගේ ලක්‍ෂ 10 ක් වංචා කරයි
ජාතික පුවත්පතක මංගල දැන්වීමක් පළ කර පනස්හය (56) හැවිරිදි පුද්ගලයකු හැට දෙහැවිරිදි (62) කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න මුදලක්
වංචා කිරීමක් සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු කෑගල්ල මහෙස්ත්‍රාත් විරාජ් රණතුරංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 21 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර සිටියේය.මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කෑගල්ල උඳුගොඩ කනන්ගමුව පදිංචි ජයසිංහ ආරච්චිලාගේ ආරියපාල ජයසිංහ නමැති පුද්ගලයකුය. සිද්ධිය සම්බන්ධව පොලිසිය ප්‍රකාශ කර සිටියේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරු 2013 අගෝස්තු මස 18 වැනි දින ජාතික පුවත්පතක මංගල දැන්වීම් තීරුවේ මංගල දැන්වීමක් පළ කර ඇති බවය. එම මංගල දැන්වීමේ සඳහන් කර ඇත්තේ තමන් වයස අවුරුදු 56ක සිංහල බෞද්ධ ගොවිගම ආගමට දහමට ළැදි ගුණගරුක පුද්ගලයකු බවත්, වයස අවුරුදු 50ත් 65ත් අතර අවිවාහක හෝ වැන්දඹු කාන්තාවක් ඉක්මන් විවාහයක් සඳහා සොයන බවත්, කැමැති අයකු වේ නම් මුල් ලිපියෙන් සියලු තොරතුරු දන්වා එවන ලෙසත් සැකකරු විසින් එම මංගල දැන්වීම පළකර තිබිණි. එම දැන්වීම දුටු කෑගල්ලේ පදිංචි වයස අවුරුදු 62ක් පමණ වූ කාන්තාවක් පිළිතුරු ලිපියක් යවා ඇයගේ සම්පූර්ණ තොරතුරු සැකකරු වෙත දන්වා යවා තිබිණි.
පසුව මෙම සැකකරු කාන්තාව සමඟ ඇසුරු කොට කෝටි ගණනක දේපොළ හා මුදල් ඇති බවද සැකකරු සාමාන්‍ය පුද්ගලයකු බවත් කාන්තාවට දුරකතනයෙන් ප්‍රකාශ කර ඇත. පසුව මෙම සැකකරු කාන්තාවට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් මාතලේ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කරන බවත්, ගම්පොළ ප්‍රදේශයේ අංගසම්පූර්ණ නිවෙසක් සහිත තේ වත්තක් ඇති බවත්, තමන් ඉක්මන් විවාහයට කැමැති බවත්, දෙදෙනා දිනපතා දුරකතන ඇමතුම් ඔස්සේ සියලු තොරතුරු කතාබහ කරගෙන ඇත. ඊට දින කිහිපයකට පසු මේ දෙදෙනා කෑගල්ල නගරයේදී මුණගැසී ඇති බවද පොලිසිය කියයි.
මුදියන්සේ බණ්ඩාරගේ විජේසිංහ නමැති ව්‍යාජ නමකින් පෙනී සිටි මෙම සැකකරු තමන් සතු වෑන් රථය අලුත්වැඩියා කර ගැනීමට මුදලක් අවශ්‍ය බව පවසා එම වෑන් රථය අලුත්වැඩියා කරගත් වහාම මෙම කාන්තාවගේ නිවෙසට පැමිණ ඥාතීන් මුණගැසී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කරගැනීමටද පැමිණෙන බව ප්‍රකාශ කර ඇත. පසුව මෙම කාන්තාව සැකකරුගේ ප්‍රකාශවලට රැවටී මුදලින් රුපියල් තුන්ලක්‍ෂ විසිඅටදාහක මුදලක් සහ රුපියල් හයලක්‍ෂ හැටහයදාහක කනකර බඩුද වංචා කරගෙන රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව මෙම මනාලයාගේ දුරකතනය දින කිහිපයක සිට ක්‍රියා විරහිත කර තිබීම නිසා මනමාලියට සැක පහළවී ඇත. ඉන්පසුව ඇය කෑගල්ල කොට්ඨාස ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණ කෑගල්ල කොට්ඨාස ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර ඇත. ඒ අනුව කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා අප්සරා අබේසේකර මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
විවිධ නම්වලින් පෙනී සිටි මෙම සැකකරු කෑගල්ල උඳුගොඩ නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඔෟෂධ සංයෝජක ලෙස සඳහන් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතක් සහ තවත් පෞද්ගලික හැඳුනුම්පත් දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරිණි. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විවිධ වංචාවන් දිවයින පුරා තිබිය හැකි බව ප්‍රකාශ කළ පොලිසිය ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි නිමල් ධර්මප්‍රිය මහතාගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂිකා අප්සරා අබේසේකර, පොලිස් සැරයන් නිශ්ශංක (42630), කාන්තා පොලිස් සැරයන් මැණිකේ (4743), කාන්තා පොලිස් කොස්තාපල් ඉනෝකා (5369) යන මහත්ම මහත්මීන් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි. උපුටාගැනීම – මව්බිම
No comments