විජය නැති අඩුව පුරවන්න පුතා වේදිකාවට (photo)
කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රතිභාපූර්ණ චරිත කිහිපයක් පසුගිය වසරේදී අපේ රටට අහිමි විය. වයස් භේදයකින් තොරව සැවොම ඇළුම් කළ අති දක්ෂ කලාකරුවකු වූ විජය නන්දසිරි ද ඒ අතරින් අමතක කළ නොහැකි චරිතයකි. මීට පස් මසකට පමණ පෙර මෙලොව හැරගිය විජය රඟපෑ චරිත සඳහා ආදේශක නළුවන් සොයා ගැනීමට බොහෝ නාට්‍යකරුවන්ට මේ වන විට සිදුව තිබේ.
විජය මෙලොවින් සමුගෙන මේ වන විට මාස කිහිපයක් ගතව ගිහින්. ඔහු නැති අඩුව ඔබට දැනෙන්නේ මොන විදිහටද?
විජයගේ වියෝවෙන් ඇති වුණු තනිකම පාළුව සහ දුක ගැන නම් කියන්න වචන නැහැ. ජීවත්ව සිටින කාලේ ඔහු අපේ මුලු පවුලටම යෝධ ශක්තියක් වුණා. නළුවෙක් විදිහට කොතරම් කාර්ය බහුල වුණත් විජය කවදාවත් පවුලේ යුතුකම් හා වගකීම් පැහැර හැරියේ නැහැ. ඔහු වචනයකින් කාගේවත් හිත රිදවූ කෙනෙක් නොවෙයි. හැකි හැම අවස්ථාවකදීම ඔහු අනුන්ට උදාව් උපකාර කළා. විජය සිහිකරලා දානමය පුණ්‍යකර්ම කරමින් තමයි අපි ඔහු නැති දුක යන්තමින්වත් තුනී කරගන්නේ.
ඔහුගේ වියෝවෙන් කලා ක්‍ෂේත්‍රයෙහිත් විශාල හිඩැසක් ඇති වුණා?
ඔව්. විජය තමන් රඟපෑ සෑම චරිතයකටම 100ක් සාධාරණය ඉටුකළා. ඔහු රංගනයට පුදුමාකාර හැකියාවක් තිබුණු නළුවෙක්. ඔහු රඟපෑ මනමේ කුමරුගේ චරිතය සහ ප්‍රේමචන්ද්‍රගේ චරිතය කාසියක දෙපැත්තක්වගේ එකිනෙකට බොහෝ වෙනස්. මට හිතෙන විදිහට අපේ රටේ එවැනි රංගන කුසලතාවක් තිබූ එකම නළුවා තමයි ගාමිණි ෆොන්සේකා. ඇත්තම කිව්වොත් ජීවත්ව ඉන්න කාලේවත් විජය වෙනුවෙන් ඩුප්ලිකේට් තිබුණේ නැහැ.
නමුත් නාට්‍යකරුවන් ට අද විජය වෙනුවෙන් ආදේශක සොයා ගන්න සිදුවෙලා නේද?
ඔව්. විජය රඟපානවා බලන්නම තමයි බොහෝ ප්‍රේක්ෂකයන් ඔහුගේ නාට්‍ය නැරඹුවේ. මියයන විට ඔහු වේදිකා නාට්‍ය හයක රඟපාමින් සිටියා. අද ඒ චරිත හය රඟපාන්න නළුවන් හය දෙනෙක් යොදවලා තියෙනවා. ඒත් ඔවුන්ටත් ඒ අඩුව පුරවන්න පුළුවන්ද කියන ගැටලුව නම් තවමත් එහෙමම තියෙනවා.
විජයගේ දක්ෂතාවලට නිසි ඇගයුමක් ඔහු ජීවත්ව සිටි කාලේ ලැබුණා කියලා කියන්න පුළුවන්ද?
කෙනෙක් ජීවත්ව සිටින කාලේ නොලැබුණු අගය කිරීම් ඔහු මියගියාට පසුව ලැබිලා වැඩක් නැහැනේ. සමහරුන්ගේ තිබුණ කුහක ගති ගුණ නිසා විජයට ජීවත්ව සිටින කාලේ තමන්ගේ දක්ෂතා වෙනුවෙන් ලැබිය යුතු ඇගයුම් ලැබුණේ නැහැ. නමුත්
ප්‍රේක්ෂකයන්ගේ ආදරය නම් ඔහුට සියයට දාහක්ම ලැබුණු බව මට කියන්න පුළුවන්.
විජයගේ නිර්මාණවලට ඉදිරියේදී මොකද වෙන්නේ?
විජය වේදිකා නාට්‍ය හතරක් නිෂ්පාදනය කළා. ඒ තමයි කුස පබාවතී, වෘෂභ රාජ, හාරත රැජින සහ ශ්‍රී ගජබා. ඒ අතරින් කුස පබාවතී වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මම මේ වන විට ආරම්භ කරලයි තියෙන්නේ. ළඟදීම එය වේදිකාගත කිරීමයි මගේ බලාපොරොත්තුව.
කුස පබාවතී වේදිකා නාට්‍යයේ විජයගේ අඩුව පුරවන්නේ කවුද?
විජය වෙනුවට ආදේශ කරන්නේ කවුද කියලා කල්පනා කරද්දී මට වැටහුණා නන්දසිරි කියන නම ඉදිරියට ගෙන යා හැකි කෙනෙක් ඊට යොදා ගත්තොත් වඩා හොඳයි කියලා. ඒ නිසා ඒ චරිතය සඳහා අපේ පුතා රසාංජන සුචිත්‍ර නන්දසිරිවයි මම තෝරාගත්තේ. පුතා තමන්ගේ. වෘත්තීය කටයුතුත් එක්ක කවදාවත් වෘත්තිය රංගන ශිල්පියෙක් බවට පත්වන එකක් නම් නැහැ. හැබැයි ඔහු කලා ක්‍ෂේත්‍රයෙනුත් විජයගේ නම ඉදිරියට ගෙන යාවි.
උපුටා ගැනීම - ගොසිප් ලංකා නිව්ස්
No comments