Header Ads

එයා හරිම අහිංසකයි. ඒ ගුණය නම් මගේ හිතට තදින්ම දැනුණා.

හිතකට ලේසියෙන් කොතැනකවත් නතර වෙන්න බැහැ. හිත ඕනෑම කිව්වොත් හැර ඒත් කවුරු අකැමැති වුණත් හිතකට කොතැන හරි නතර වෙන්න ඕන නම්.. ඒක වළක්‌වන්නත් බැහැ. ඒ නිසාම ඇය පහුගිය දවසක ගැයුවා මේ විදිහට
මගෙ සිත ඔබ ළඟ නැවතී
ඔබෙ සිත මාළඟ නැවතී
ඔබ දකිනා විටදී මා සිත රවටන් නොහැකී
මුළු ලොවට රහසින් අපසිත් අප ළග නැවතී
හිතක්‌ ආදරවන්ත වුණහම එහෙම තමයි. ආදර හිත් ලෝකයටම රහසින් ආදරය පුරවනවා. ඇත්තටම ආදරයක්‌ සුන්දර වෙන්නෙත් ලෝකෙටම රහසින් ආදරය කරද්දී. සුප්‍රියාගෙ හිතටත් ආදර හැඟුම් රිංග ගන්න ඇත්තෙ ලෝකයට රහසින් වුණත් රටක්‌ දන්න හඳුනන කෙනෙකුට ජීවිතයේ රහස්‌ රකින එක ඒ තරම් පහසු දෙයක්‌ නොවෙන්න ඇති. ඒ නිසාම මීට දහතුන් වසරකට පෙර සොඳුරු දවසක ලෝකෙටම පේන්න ආදරය කරන්න දෙන්න එක වහළක්‌ යටට ආ මතකය සමගින් ඇය ආදර හැන්දෑවට ඇවිත් හිටියා.
ඔබට ඔහු හමුවෙන්නේ? මම එයාව හඳුනගත්තේ මම දන්න කියන කෙනෙක්‌ගෙ මාර්ගයෙන්. ඊට පස්‌සෙ හිතවතුන් විදිහට අපි ඇසුරු කළා. අපි අවුරුදු දහඅටක්‌ තිස්‌සෙ හඳුනගෙන හිටියේ. එයාලගෙ ගම කුරුණෑගල නේ. ඉතින් කොළඹ ආවම අපේ ගෙවල්වල ඇවිත් ගිහින් තියෙනවා.
දැනහැඳුනුම්කම ප්‍රේමයකට පෙරළෙන්නේ ? 2003 අවුරුද්දෙ තමයි අපි පෙම්වතුන් වුණේ. 2004 එයාගේ උපන් දිනය දවසෙ අපි දෙන්න විවාහ වුණා.
විවාහයට ගෙවල්වලින් ආශිර්වාද එකහෙළාම ලැබුණද ? ඔහු හොඳ ගතිගුණ තියෙන කෙනෙක්‌ කියල අපේ පවුලේ හැමෝම දැනගෙන හිටියා. ඉතින් මගේ ජීවිතයට හොඳ කෙනෙක්‌ ලැබෙන එක ගැන එයාල සතුටු වුණා.
තමන්ගේ ජීවිතය ළඟින් රැඳෙන්න ගැලපෙනම කෙනා ඔහුයි කියලද සුප්‍රියාට හිතුණේ ? එයා හරිම අහිංසකයි. ඒ ගුණය මගේ හිතට තදින්ම දැනුණා. ඒ විතරක්‌ නෙවෙයි එයාට ගායන හැකියාවකුත් තිබුණ නිසා මගේ කලා කටයුතු ගැන අවබෝධයකින් කටයුතු කරයි කියලා මට විශ්වාසයක්‌ ඇතිවුණා.
අද වෙද්දි එදා ඔහු ගැන තැබූ විශ්වාසය ගැන මොනවද හිතෙන්නෙ ? මම එදා ගත්තෙ නිවැරදිම තීරණයක්‌. අද මම කලා ශේත්‍රයේ යම් දුරක්‌ ආව නම් ඒ ගමනට උපරිම දායකත්වය ඔහුගෙන් මට ලැබුණා. වෙලාවකට මටත් වඩා මගේ ගායන වෘත්තිය ගැන වගකීමෙන් එයා වැඩ කරනවා. මට මේ ක්‍ෂේත්‍රයේ නිවැරදි ලෙස කටයුතු කරන්න ඔහුගෙන් විශාල සහයක්‌ ලැබෙනවා. තැනකට යන්න වෙලාව ප්‍රමාද නොකර මා ආරක්‍ෂිතව රැගෙන යන්න එයා සැලකිලිමත් වෙනවා.
කාර්යබහුල ජනප්‍රිය බිරිඳ දෙස ඔහු බලාඉන්නෙ කෙහොමද ? මගේ කාර්ය බහුලත්වය ඔහු කවදාකවත් අපේ ජීවිතවලට ප්‍රශ්නයක්‌ විදිහට එයා දකින්නෙ නැහැ. ඉවුම් පිහුම් ගෙදර වැඩ මගෙන් කලට වෙලාවට එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ගෙවන කාර්ය බහුල ජීවිතය එයා ආදරයෙන් ඉවසනවා. ඒ වගේම මම අද ක්‍ෂේත්‍රයේ ඉන්න තැන ගැන එයා නිහඬව සතුටුවෙන බවත් මම දන්නවා.
සුප්‍රියාට මතකද මුලින්ම ලැබුණ ආදර මතක සටහන ? ඔව්. එයා මට ඉස්‌සරවෙලාම දුන්න තෑග්ග මුද්දක්‌. අදටත් එය මාළඟ සුරැකිව තියෙනවා.
සුප්‍රියාගෙන් ඔහුට දුන් තෑග්ග ? මම එයාට දුන්නෙ වී ෂර්ට්‌ එකක්‌.
ආදර නීතිරීති තහංචි සුප්‍රියාගේ ආදර ලෝකයටත් පොදුයිද ? මම මටම තහංචි දාගෙන ඉන්න නිසා එයා අමුතුවෙන් මට නීති දාන්නෙ නැහැ. ඒක මට මගේ පවුලෙන්ම ලැබුණ දෙයක්‌. අපේ තාත්ත කැමැති වුණේ නැහැ අපි ශරීරය නිරාවරණය වෙන ඇඳුම් අඳිනවාට. මම විලාසිතා කරන්න ගොඩක්‌ම කැමැති කෙනෙක්‌ වුණත් මම ඒ දේවල් කරන්න මගේ සීමාවෙ ඉඳන් නිසා ඒ දේවල් ගැන එයාට ප්‍රශ්නයක්‌ නැහැ.
ආදරය දෙන්නකුගේ ජීවිතවල සතුට රැඳෙන්නේ ? මම නම් දකින්නෙ අපි එකිනෙකාට ගරු කරනව නම් එතැන ආදරයයි විශ්වාසයයි රැඳෙනවා. එයා මගේ හැකියාවන්ට ගරු කරනවා. මම එයාගෙන් මට ලැබෙන ආදරණීය රැකවරණයට ආදරය කරනවා. ඒ නිසාම අපේ ජීවිත හැලහැප්පීම්වලින් තොරව ගලා යනවා

No comments

Powered by Blogger.