Header Ads

මෙතුවක් නොකියූ සත්‍ය කතාව.

අමෙරිකාවේ නාසා ආයතනය නිරතුරුවම ක්‍රියාත්මක වන්නේ විශ්වය ජය ගනු පිණිසය. ලොව අන් ස්ථානයන්හි මෙන්ම එහිද ඇත්තේ පුරුෂාධිපත්‍යයයි. ‘නාසා’ ආයතනය මඟින් සිදුකළ එක්තරා ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමකදී මිනිස් පරිගණක මෙන් ක්‍රියාත්මක වූ කාන්තා මොළ තුනක් පිළිබඳ මෙතෙක් ලෝකයට හෙළි නොකෙරුණේ පුරුෂාධිපත්‍යය නිසා ද? නැතිනම් වෙනත් කාරණයක් නිසා ද?
ලෝකයේ අවධානය දිනාගත් මෙහෙයුමක සිටි කාන්තාවන් තිදෙනකු ගැන රහස හොලිවුඩය දැන් රිදී තිරයට ගෙනැවිත් තිබේ. ඒ මිනිසකු මුලින්ම අභ්‍යවකාශයට යවනු පිණිස අමෙරිකාව හා සෝවියට් දේශය අතර තරගය පැවැති වකවානුවයි. දේශපාලනමය වශයෙන් දෙරට අතර ශීතල යුද්ධයක් පැවැතියේ ද මේ අවධියේමය. නාසා ආයතනය ගැටලුවකට මුහුණ පා සිටියේය. අභ්‍යවකාශ ගමන සඳහා කාල ගණනයන් ආදිය නිවැරැදිව සිදුවිය යුතු අතර මුළු ගමනම රැඳී තිබුණේ ගණනයන් මතය. යම් තැනක වරදක් සිදු වුවහොත් අභ්‍යවකාශයට යැවෙන මිනිසා නිවැරැදි තත්පරයට පෘථිවියට ගෙන්වා ගත නොහැකි වනු නිසැකය. සමකාලීනව අද තරම් දියුණු පරිගණක නොතිබූ බව ද අප මතක තබා ගත යුතුය.
සෝදිසියේදී නාසා ආයතනයට හමුවන්නේ කළු අමෙරිකානු කතුන් තිදෙනෙකි. ඩොරති වෝගන්, මේරි ජැක්සන් හා කැතරීන් ජොන්සන් යන එම තිදෙන පුරුෂාධිපත්‍යය, කළු සුදු බේදය ආදිය පරදවමින් නාසා ආයතනය තුළ සනාථ කරමින් සිටියේ ගණිතය සඳහා තමන් තුළ ඇති දක්ෂතාවයි. ඔවුන්ගේ දක්ෂතාව කෙබඳු වී ද යත් ‘නාසා’ ආයතනය තුළ එම තිදෙන හැඳින්වූයේ ‘මිනිස් පරිගණක’ යන අන්වර්ථයෙනි.
ගගනගාමී ජෝන් ග්ලෙන් අවසානයේ අභ්‍යවකාශයට ගිය ප්‍රථම අමෙරිකානුවා ලෙස ඉතිහාසගත වූයේ 1962 වසරේ පෙබරවාරි 20 දා ‘ෆ්‍රෙන්ඩ්ෂිප් 7’ යානයෙන් අභ්‍යවකාශයට ගමන් කරමිනි. පැය හතරයි මිනිත්තු 55ක් තිස්සේ පෘථිවිය වටා ගමන් කළ ඔහු අවසානයේ නිරුපද්‍රිතව පෘථිවියට ළඟා වූයේය. ඒ පසුපස වූයේ කළු අමෙරිකානු කාන්තාවන්ගේ නිවැරැදි ගණනයන්ය. ග්ලෙන් ජාතික වීරයකු ලෙස පිළිගත්ත ද අමෙරිකාව උක්ත කාන්තාවන්ගේ දක්ෂතාවන් අගය කළේ ද?
ඩොරති වෝගන්, මේරි ජැක්සන් හා කැතරීන් ජොන්සන්ගේ දක්ෂතා, ඔවුන් සියලු බාධා පරයමින් නාසා ආයතනය තුළ ඉදිරියටම ගිය ගමන අද ‘හිඩ්න් ෆිගර්ස්’ යන සිනමා පටයෙන් ලෝකයට නරඹන්නට ලැබී තිබේ. තියඩෝර් මෙල්ෆිගේ අධ්‍යක්ෂණයක් වූ එහි තාරාජ් පී හෙන්සන්, ඔක්ටේවියා ස්පෙන්සර් හා ජනෙලෙ මොනායි ප්‍රධාන චරිත රඟති. ඒ හැර ප්‍රකට නළු කෙවින් කොස්ට්නර්, ක්‍රිස්ටියන් ඔන්ස්ට්, ජිම් පාර්සන්ස් හා ග්ලෙන් පවල් යන නළු නිළියෝ ද ඊට රංගනයෙන් දායක වෙති.
පසුගිය ජනවාරි 6 දා තිරගත වීම ඇරැඹු මෙම චිත්‍රපටයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව ආදායම් වාර්තාවලින් පැහැදිලි වෙයි. විචාරකයන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇති මෙම චිත්‍රපටය මෙවර ඇකඩමි ‍සම්මාන උලෙළේදී සම්මාන ගණනාවක් ලබනු ඇතැයි පැවසෙයි. මෙවර සම්මාන උලෙළට ඇතුළත් වනු පිණිසම පසුගිය වසරේ දෙසැම්බර් 25 දා අමෙරිකාවේ සිනමා ශාලා කිහිපයක පමණක් ‘හිඩ්න් ෆිගර්ස්’ තිරගත කිරීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් කටයුතු යොදා තිබිණි.
Gossip King

No comments

Powered by Blogger.