Header Ads

අගමැති බලය හමුවේ දණ නොගැසූ ඊශ්‍රායල පොලිස් බලය

‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි’ යන්න ලොව බොහෝ රටවල දේශපාලන බලය හමුවේ වචනයට පමණක් සීමා වී ඇති යුගයක වචනාර්ථයෙන් එය ක්‍රියාත්මක වෙමින් පවතින පුවතක් ඊශ්‍රායලයෙන් වාර්තා වේ.
ඒ, එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල් පොලීසිය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රශ්න කිරීමත් සමගිනි.
විදෙස් වාර්තා පවසන්නේ, අගමැති නිල නිවසට පැමිණි විමර්ශකයින් පැය 3ක් තිස්සේ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇති බව ය.
දෙස්, විදෙස් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ප්‍රතිලාභ ලබා ගෙන ඇති බවට ආග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් විමර්ශකයින් ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, තමා නිර්දෝශී පුද්ගලයෙකු බව ය.
දූෂණ ක්‍රියාවක් සිදුව නොමැති බැවින් විමර්ශනවලින් ප්‍රයෝජනයක් නොවන බව ත් ඉන් කිසිවක් හෙළි නොවන බවත් අගමැතිවරයා මාධ්‍ය සහ දේශපාලන ප්‍රතිවාදීන්ට අනතුරු අඟවා තිබේ.
මට ඔවුන්ට කියන්න අවශ්‍යයි. සැමරුම් සඳහා කලබල වෙන්න එපා. මම නැවතත් කියනවා. ඉදිරියේදී කිසිවක් සිදු වෙන්නෙ නැහැ. මොක ද සිදු වෙන්න කිසිවක් නැති නිසා. ඔබලා තවදුරටත් උණුසුම් වායු බැලූන පුම්බන්න. අපි මේ රට ඉදිරියට ගෙනියනවා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දෙස්, විදෙස් ව්‍යාපාරිකයින්ගෙන් අවිධිමත් ලෙස අමෙරිකානු ඩොලර් දහස් ගණනනක් ත්‍යාග වශයෙන් ලබාගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
නෙතන්යාහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ඊශ්‍රායල පොලීසිය ප්‍රශ්න කර තිබේ.
නෙතන්යාහුගේ දේශපාලන දිවියට කළු පැල්ලම් එක් කළ පෙර චෝදනා
  • නෙතන්යාහුගේ නීතිඥවරයා නියෝජය කරනු ලබන ජර්මන් සමාගමකින් සබ්මැරීන මිලදී ගෙන ඇති බවට චෝදනා
  • 2009 මැතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් නෙතන්යාහුට යූරෝ දහස් ගණනක් දී ඇති බවට චෝදනා
  • මහජන මුදල් නාස්ති කර ගුවන් ගමන්වල යෙදුණු බවට චෝදනා
  • මීට දශක දෙකකට පෙර රජයට ලද ත්‍යාගයන් පෞද්ගලික පරිහරණය සඳහා තබා ගැනීම සම්බන්ධයෙන් නෙතන්යාහුගේ පළමු ධුර කාලයෙන් පසු නෙතන්යාහු සහ බිරිඳ සාරා අපරාධ චෝදනාවන්ට මුහුණ දිය යුතු බවට චෝදනා (එල්ල වූ චෝදනා පසුව ඉවත දැමිණ)
බෙන්ජමින් නෙතන්යාහු සැලකෙන්නේ, එරටින් බිහි වූ එරට පළමු අග්‍රාමාත්‍යවරයා ලෙසිනි.
විමර්ශනවල ඉදිරිය කෙසේ වෙතත් බලයේ සිටින අතරතුර අග්‍රාමත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා එරට නීතියෙන් පොලිසියට මෙවැනි බලයක් හිමිවීම ආසියානු රටවල දේශපාලන සංස්කෘතිය හා සැසඳීමේදී ධනාත්මක ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

No comments

Powered by Blogger.