පෘථිවි ගර්භයේ සංයුතිය ගැන අලුත් සොයාගැනීමක්
පෘථිවි ගර්භයේ සැකසුම තුළ සොයාගත නොහැකි වී යැයි සැළකුණු මූලද්‍රව්‍යය සොයාගැනීමට හැකි වූයේ යැයි විශ්වාස කරන බව ජපාන විද්‍යාඥයන් පිරිසක් පවසනවා.
ඒ පිළිබඳ පරීක්ෂණ දශක ගණනක් පුරා පැවැත්වූ අතර එම විද්‍යාඥයන්ගේ විශ්වාසයවන්නේ යකඩ සහ නිකල් යන මූලද්‍රව්‍යවලට පසුව, එම මූලද්‍රව්‍යය පෘථිවි ගර්භයේ සැකැස්මට සැළකිය යුතු දායකත්වයක් දී ඇති බවය.
පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයේ පවතින ඉහළ උෂ්ණත්වය හා පීඩනය ප්‍රතිනිර්මාණය කළ ඔවුන් පවසන පරිදි අදාළ මූලද්‍රව්‍යය සිලිකන් විය හැකිය.
පෘථිවිය සැකසී තිබෙන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීම සඳහා මෙම සොයාගැනීම ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රධාන පර්යේෂක, තොහොකු විශ්ව විද්‍යාලයේ එයිජි ඕතානි: “අප විශ්වාස කරන හැටියට සිලිකන් ප්‍රධානතම මූලද්‍රව්‍යයක්. පෘථිවි ගර්භයේ යකඩ හා නිකල් මිශ්‍ර ලෝහය තුළ 5% ක ප්‍රමාණයක් ද්‍රාවිතව පවතින්නේ සිලිකන් විය හැකියි,” යැයි පැවසීය.
පෘථිවි ගර්භයේ ඇතුලාන්තයේම පිහිටි කොටස කිලෝමීටර 1200 ක පමණ විශ්කම්භයකින් යුත් ඝන බෝලයක් බව විශ්වාස කෙරේ.
එහි සංයුතිය සොයාගැනීම පිණිස කෙලින්ම පර්යේෂණ පැවැත්වීම ඉතා දුෂ්කර බැවින් එහි සංයුතිය පිළිබඳව දල අදහසක් ලබාගැනීම පිණිස විද්‍යාඥයෝ එම කලාපය හරහා භූ කම්පන තරංග ගමන් කරන ආකාරය පිළිබඳව පර්යේෂණ පැවැත්වූහ.
එයින් අති බහුතරය, එනම් 85% ක්ම යකඩවලින් සමන්විතවන අතර, පෘථිවි ගර්භයෙන් 10% ක් පමණ නිකල්වලින් සැකසී තිබෙන බව එම පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් සොයාගෙන තිබේ.
පෘථිවි ගර්භයේ ඉතිරි 5% සිලිකන් විය හැකි බව දැන් විශ්වාස කෙරෙන නමුත් එය සනාථ කිරීම සඳහා තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කරන විද්‍යාඥයෝ, එහි වෙනත් මූලද්‍රව්‍යයන්ද තිබිය හැකිය යන්න බැහැර කළ නොහැකි බවත් පෙන්වාදෙති.
(BBC)
No comments