Header Ads

මෛත්‍රීගෙන් රනිල්ට වාරණයක් : ව්‍යාපෘතිවලින් බිලියන ගණනක් පාඩුයි

සංවර්ධන කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී එම ව්‍යාපෘතියට අදාළ විෂය භාර අමාත්‍යවරයා හරහා පමණක් කැබිනට් පත්‍රිකා යොමු කරන ලෙස ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ පසුගිය සමය පුරා විෂය භාර අමාත්‍යවරයා සිටිය දී ඊට පරිබාහිරව අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ අනුදැනුම මත ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක කමිටුව හරහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා හේතුවෙන් ආණ්ඩුව පත් වූ දුෂ්කරතා සහ අමාත්‍යවරුන් වෙතින් ජනාධිපතිවරයාට පෞද්ගලික මට්ටමින් සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

අදාළ තීරණය දැනුම් දෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම විෂයට අදාළව වෙනත් පාර්ශ්ව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අවසානයේ කැබිනට් සාමූහිකත්වය පවා නොමැති වන තත්ත්වයක් මතු වී ඇති බවත් ව්‍යාපෘතියක් සම්බන්ධව එල්ල වන විවේචන හමුවේ විෂය භාර අමාත්‍යවරයා සහ ව්‍යාපෘතිය ගෙන ආ අමාත්‍යවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීම නිසා ආණ්ඩුව හෑල්ලු‍වට ලක් වීම වළක්වා ගැනීමට ද අවශ්‍ය බවත්ය.

එසේම ව්‍යාපෘති සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී විෂයට සම්බන්ධ අමාත්‍යවරුන් නොතකා හැර නිලධාරීන් සමඟ පමණක් කටයුතු කිරීම තුළ ද ගැටලු රාශියක් මතු වී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති  ආණ්ඩුව ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරුන් කටයුතු නොකරයි නම් සහ ඒවා පාඩු ලබන තත්ත්වයකට පත් වනවා නම් ඒ වගකීම අදාළ අමාත්‍යවරයා වෙත පැවරීමට මේ හරහා අවස්ථාව උදා වන බව ද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත.

ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට හම්බන්තොට වරාය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාකිස්තාන් ගුවන් සේවය සමඟ ් 330 ගුවන් බස් තුනක් සඳහා  ඇතිකර ගත්  කල්බදු ගිවිසුම, ගල් අඟු‍රු ටෙන්ඩරය නිකුත් කිරීමේ දී ආණ්ඩුව වෙත එල්ල වූ දූෂණ චෝදනා, සුපිරි බලතල ඇති  ඇමැති ධුරයක් සම්බන්ධව සකස් කළ පනත් කෙටුම්පත ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව ජනාධිපතිවරයා සිදු කළ සොයා බැලීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත. මෙම ප්‍රතිපත්තිය ඉදිරියේ දී දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කර ඇති බව ද වාර්තා වෙයි.

 එසේම යහපාලන ආණ්ඩුවේ සිටින මේ වන විටත් දූෂණ චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන් සම්බන්ධව ද තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් මේ වන විට රුපියල් බිලියන 50ක පමණ මූල්‍ය වංචා සිදු කර ඇති බවට ආණ්ඩුවට එල්ල වන චෝදනා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම දේශපාලන අනාගතයට අහිතකර බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත අවධාරණය කර ඇති බවත්  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

උපුටා ගැනීම  - සත්හඬ

No comments

Powered by Blogger.