ඇමැතිවරයා පිටව යද්දී.. ජනතාව මෝටර්රථය වටකරයි
කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා ඉඩම් ඇතුළු දේපොළ අහිමිවන්නන් සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (03) දින සවස පැවති සාකච්ඡාවකින් අනතුරුව
ඇමැතිවරයා පිටව යද්දී ඔහුගේ මෝටර්රථය වටකළ දේපොළ අහිමිවන පිරිස ඇමැතිවරයාගේ වාහනයට යාමට නොදී රඳවා ගැනීම නිසා දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටව යාමට ඇමැතිවරයාට සිදුවිය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා සිය ඉඩම් ඇතුළු දේපොළවලට ගෙවනු ලබන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවට දිගින් දිගටම පැවසීම නිසා දේපොළ අහිමි වන පිරිස හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි.
මෙම සාකච්ඡාවට අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා නිවාස, ඉඩම්, කුඹුරු, ගොඩනැගිලි ඇතුළු දේපොළ අහිමිවන්නන් හාරසියයකට වැඩි පිරිසක් පැමිණ සිටියහ. එම සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුද සහභාගි වූහ.
වන්දි ගෙවීම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, වන්දි මුදල් ගෙවීමේදී රාජ්‍ය නිලධාරීන් කොමිස් ගසා ඇති බවටත් පිරිස මෙහිදී චෝදනා කළහ.
මෙම මාර්ගය ඉදිකිරීමේදී ඊට යොදාගන්නා ඉඩම්වලින් ඉතිරි වන කොටස් සඳහාද වන්දි ගෙවියයුතු බවට මෙහිදී දේපොළ අහිමිවන්නන් ඉල්ලා සිටි අතර, ඊට වන්දිගෙවීමටද ඇමැතිවරයා කැමැත්ත පළකළේය. ඊට අමතරව අහිමිවන ගොඩනැගිලි සඳහා වන්දි ගෙවීමටද මෙහිදී එකඟතාවය පළ කෙරුණද වන්දි ගෙවනු ලබන දිනය පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ නොවීය. වන්දි මුදල් ගෙවීම් සම්බන්ධව ඇමැතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලද පිළිතුරු පිළිබඳව සෑහිමකට පත් නොවිය හැකි බව දේපොළ අහිමිවන්නෝ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියහ.
සාකච්ඡාවෙන් අනතුරුව ඇමැතිවරයා වාහනයට නැග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අසලට යද්දී, ඒ අසල සිටි දේපොළ අහිමිවන්නෝ් ඇමැතිවරයාගේ වාහනයට යාමට නොදී වටකර ගත්හ. අපේ වන්දි ගෙවව්. ඉඩම් වලට වැඩි මුදලක් දෙන්න. වන්දි ගෙවන දිනය ස්ථිරව කියන්න. ආදි ලෙස කෑ කෝ ගසමින් පිරිස වාහනය වටා රැස්ව එයට යාමට ඉඩ නොදුන්හ. පිරිස විරෝධතා වැකි ලියූ පෝස්ටර් අතැතිව වාහනය වටකරගත් නමුත්, ඇමැතිවරයා විරෝධතාකරුවන්ට කිසිවක් ප්‍රකාශ නොකළේය.
ඇමැතිවරයා ගමන් ගන්නා වාහනය විනාඩි පහකට වැඩි කාලයක් පිරිස රඳවා ගනු ලැබූ අතර,පොලිසිය සහ ඇමැති ආරක්ෂක අංශයේ පිරිස වහා පිරිස හසුරවමින් වාහනයට යාමට ඉඩ සලසා දුන්නේය.
No comments