Header Ads

ප්‍රධාන කරුණු තුනක් සලකා බලා සටන් කරනවා – සරත් ෆොන්සේකා

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව සලකා බලා ඉන් වඩාත් සුදුසුම අයුරින් වත්මන් දූෂිත පාලනය පෙරලා දැමීමට සටන් කරන බව ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ
නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද අවංක පොදු අපේක්ෂකයකුට සහයෝගය දෙනවාද එසේත් නැත්නම් එජාප අපේක්ෂකයාට සහාය දෙන ලෙස කර ඇති ඉල්ලීම සලකා බලනවාද යන්න එම කරුණු තුන බව ඒ මහතා පසුගිය දා ප්‍රජාත්‍රන්තවාදී පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්තවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා,
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගත යුතු ක්‍රියා මාර්ගය මොකක්ද කියලා තවම ස්ථිර තීරණයක් නෑ. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපි දැක්ක විදියට ඌව මැතිවරණයේදී මේ රටේ සාධාරණ, ස්වාධීන මැතිවරණයක් පැවැත්වුනේ නෑ. දිගටම ගියපාර ජනාධිපතිවරණයේ ඉඳලාම සාධාරණ මැතිවරණ පැවැත්වූයේ නෑ. ප්‍රතිඵලය කොල්ල කෑවා, ඡන්ද ගණන් කරන නිළධාරීන් හරහා මැතිවරණ ප්‍රතිඵලය විකෘති කරනවා. මේ රටේ දූෂිත පාලකයෝ, කොමසාරිස් ඒක පුරුද්දක් හැටියට කරගෙන යනවා. ඒ හින්දා අපට තව ඉදිරියට හිතන්න වෙලා තියෙනවා ඉදිරි මැතිවරණය ගැන ගන්න ක්‍රියාමාර්ග ගැන අද මේ වන විට පවතින තත්වය මත.

ඒක නිසා අපි ඒ ගැන තවම සාකච්ඡා කරමින් පවතිනවා. අපට විකල්ප තුනක් තියෙනවා.

ප්‍රමුඛත්වය, පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පක්ෂය හමුවේ අළුත් දේශපාලන සංකල්පයක් මත. අප පක්ෂය හැදුවේ රටේ දේශපාලනය වෙනස් කරන්න නම් වෙනත් පක්ෂ වලට ගිහිල්ලා ජැක් ගහ ගත්තා කියලා අපේ පක්ෂයේ අරමුණු ඉටු කරගන්න බෑ. යම්කිසි කෙනෙකුට තාවකාලික විනෝදයක් පමණක් ලබන්න පුළුවන්.මෙහිදී අප අමතක කරන්නේ නෑ මේ රජය අපට කරන බලපෑම්, අසාධාරණකම් මැතිවරණ වලදී කරන අයථා බලපෑම්, ප්‍රතිඵල විකෘතී කිරීමට දරණ උත්සාහය.

දෙවන විකල්පය තමයි අපි තරඟ නොකර සිටීම. අපි මේ මැතිවරණය වර්ජනය කිරීම. එහිදී අපට පුළුවන් ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින්ට සහය නොදී මැතිවරණය වර්ජනය කරන්න. ඒක කොහොමත් දූෂිත මැතිවරණයක්. අපි පිළිගන්නේ නෑ මේ රටේ ඉන්න පාලකයාට තුන්වන වරට ජනාධිපතිවරණයකට යන්න නීත්‍යානුකූල බලයක්, සදාචාරයක් තියෙනවා කියලා. අපි හිතන්නේ මේ රටේ පාලකයා ව්‍යවස්ථාව දූෂිත කරමින් ව්‍යවස්ථාව විකෘති කරමින් ඔහු හදන්නේ තුන්වන වරටත් ජනධිපතිවරණයකට යන්න. ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන අය අපි දකින්නේ දේශද්‍රෝහියෝ කියලා. ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරපු අය අතුරින් ඔහු තමයි නොම්බර එකේ දේශද්‍රෝහියා.ඒ හින්දා අපි මේ මැතිවරණයට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යෙන් මැතිවරණය ප්‍රතික්ෂේප කරනවා. ඒක සාධාරණ මැතිවරණයක් වෙන්නේ නෑ.

ඉතුරු විකල්ප දෙක අපි අත්හැරලා නෑ. ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ පළවැනි විකල්පයටයි. තාම අපට වඩා ප්‍රබල පක්ෂත් මේ ගැන කෙලින් තීරණය කරලා නෑ. අද ඉන්න ජනාධිපතිත් මේ ගැන කොළේ වහලා කතා කරන්නේ, අද කියනවා හෙට කියනවා කිය කිය ඉන්නවා. අපි අනිවාර්යෙන් ප්‍රමාද නැතිව හරි වෙලාවට තීරණය ගන්නවා. පළමුවෙන්, අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කළොත් පක්ෂ නායකයාට ඉදිරිපත් වෙන්න වෙනවා. නැතිනම් නායකයෙකු ඉඳලා වැඩක් නෑනේ.

තුන්වැනි විකල්පය තමයි විරුද්ධ පක්ෂයේ එන පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම. එහිදී අනිවාර්යෙන් නොයෙක් මත ප්‍රකාශ වෙනවා. අපි කිසියම් ප්‍රතිපත්තියක හිටියානම් ගමනක් ආවනම් ඒ ගමන කෙලින් යන්න පක්ෂයේ සියළු දෙනාට කොන්ද පණ තියෙන්න ඕන. සියළු දෙනාටම ආත්ම ශක්තිය, අධිෂ්ඨානය තියෙන්න ඕන. අපි ඒ ගමනෙන් වෙනස් වෙලා වෙනත් පොදු අපේක්ෂකයෙකුට සහය වෙනවා නම් මම දකිනවා අපේ පක්ෂයේ පසුබෑමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එම පසුබෑමෙන් අපේ පක්ෂය ගොඩ ගන්නව කියන එක අපි දීර්ඝ වශයෙන් කල්පනා කරලා බලන්න ඕන. අපිට එවැනි ක්‍රමයක් තියෙනවා නම් පමණක් අපිට පුළුවන් වෙනත් අපේක්ෂකයෙකුට සහය වෙන්න.

රාජකාරී මට්ටමින් නොවුනත් අපි විරුද්ධ පක්ෂයේ විවිධ චරිත හමුවෙනවා, සුහද සාකච්ඡා කරනවා. එවැනි අවස්ථා වලදී එතුමා අඟවලා තියෙනවා, එතුමා මැතිවරණයට ඉදිරිපත් වුනොත් මගේ සහයෝගයක් බලාපොරොත්තු වෙනවා කියලා.නමුත් සමහර දේශපාලන පක්ෂ තියෙනවා විරුද්ධ පක්ෂ වුනත් අනිත් දේශපාලන පක්ෂ එක්ක සුහදව සාකච්ඡා කරන්න කැමති නෑ. විපක්ෂ නායකයෙකු මුණැ ගැසෙන්න කැමති නෑ. කුහක දේශපාලනය කරන්න උත්සහ කරනවා. අපි දන්නවා සියළුම විරුද්ධ පක්ෂ වලට එක අරමුණක් තියෙනවා. මේ රට විනාශ කරන දූෂිත පාලකයාගෙන් රට බේරා ගැනීමට. ඒ අරමුණේදී යම් තැන්වල අපට සමාන්තරව ගමන් කරන්න සිදු වෙනවා.මම කලිනුත් කියලා තියෙනවා පොදු අපේක්ෂකයා කියන වචනය විපක්ෂයේ දේශපාලනයට අරගෙන ආවේ මමයි. එම වාතාවරණයේ පසුබිම මොකක්ද කියලා ඔබතුමාලා දන්නවා. ඉදිරියේදී පොදු අපේක්ෂකයෙක් එනවා නම් ජනතාව විශ්වාස කරන ජනතාවගේ විශ්වාසය කඩ නොකරන කෙනෙක් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු කෙනෙක් වෙන්න ඕනේ. එක එක්කෙනාට අවශ්‍ය වූවාට හිතුමතේට පොදු අපේක්ෂකයා පත් කරන්න බෑ.

ප්‍රබල දේශපාලන පක්ෂ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ. ඒ පක්ෂ විශාල කැප කිරීමක් සිදු කරනවා. ඒ පක්ෂ වල ඉන්න සංවිධායකයෝ, ඡන්ද් දායකයෝ විශාල කැප කිරීමක් සිදු කරනවා, මිල මුදල් ඔක්කම කැප කරලා තමයි එයාලා දේශපාලනය කරන්නේ. කරල තියෙන කැපකිරීම් බලලා තමයි අපට ඕන කෙනෙක්ව සලකලා බලන්න පුළුවන්. නමුත් අපට තවම එවැනි යෝජනාවක් ලැබිලා නැහැ. මම හිතනවා අනිවාර්යෙන් පොදු අපේක්ෂකයෙක් ආවත් ඒ ප්‍රබල දේශපාලන පක්ෂ තුනෙන් තමයි මතුවෙන්න ඕන.


මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.