Header Ads

වැඩි වැටුප් ඉල්ලා දුම්රිය සේවකයින් වර්ජනයේ; සියලු දුම්රිය සේවා අඬාලයි

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරනු ලැබූ වර්ජනය සිය ඉල්ලීම් සඳහා බලධාරීන් විසඳුම් ලබාදෙනතුරු අඛණ්ඩව පවත්වන බව එම වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු
ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය. ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරී හෝ වෙනත් කිසිම නිලධාරියකු සමග කිසිම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් නැතැයි වර්ජනයට එක්වන සංගම් පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හෝ ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් සමග පමණක් තම ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ හැකි බව එම සංගම් වැඩිදුරටත් පවසයි. දුම්රිය වර්ජනය ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුනද ඊයේ (8) පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රියන්ද වර්ජනය හේතුවෙන් අවලංගු කර තිබුණි.
දුම්රිය ලොකොමෝටිව් ඉංජිනේරු සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, දුම්රිය තාක්ෂණ කළමනාකරුවන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, ලංකා දුම්රිය නියාමක සංගමය, දුම්රිය සංඥා විදුලි සංදේශ කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය කර්මාන්තශාලා කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා පාලම් කළමනාකරුවන්ගේ සංගමය, ධාවන බල කළමනාකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය යන සංගම් සියල්ල මෙම වර්ජනය හා එක්වී සිටිති. දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණද මෙම වර්ජනයට සහයෝගය දෙන බව එම පෙරමුණේ ප්‍රධාන ‍ලේකම් සම්පත් රාජිත මහතා පැවැසීය.
තමන්ට හිමි තෘතීයික මට්ටමට අදාළ වැටුප් හා වැටුප් වර්ධක අගයන් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මකකරන බව ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඉහත දුම්රිය වෘත්තීය සමිති නියෝජනය කරන දුම්රිය සේවකයින් වෙත දැනට හිමිවන්නේ රුපියල් 15350ක් වන ද්විතීයික මට්ටමේ වැටුප් තලයකි. එය රුපියල් 16350ක් දක්වා වන තෘතීයික මට්ටම තෙක් ඉහළ දමා ගැනීම මෙම වර්ජනයේ අරමුණ වී තිබේ. වසර 3ක කාලයක සිට මෙම වැටුප් තලය ලබාගැනීමට තම එකමුතුව සටන් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දුම්රිය ශ්‍රේණි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ කළමනාකරණ සේවය යටතට ගොනුකරන ලෙසත් ඉන් පසු තෘතීයික මට්ටමට ශ්‍රේණිගත කර රුපියල් 16350ක ආරම්භක වැටුප් තලයක තබන ලෙසත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා වැටුප් කොමිසම වෙත උපදෙස් දුන් බවද ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.
වැටුප් කොමිසමට එම උපදෙස් ලබාදී මාස 3ක් ඉක්ම ගියත් තම ඉල්ලීම ඉටු නොවුණ නිසා මෙම වර්ජනය විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
-ලක්බිම-
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.