Header Ads

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සියලූ පාර්ශව එක්විය යුතුයි

රටක් සංවර්ධනය කිරීමට විධායක ජනාධිපති ක‍්‍රමය ඉවහල්වන බවට ඇතැම් පාර්ශව ඉදිරිපත් වන අදහස් නීතිවේදී ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ප‍්‍රතික්‍ෂේප කරනවා. ඇය ඊට හේතු දැක්වූයේ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය කොළඹ ඊයේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදීයි.


සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය පමණක් නෙවෙයි. එය හුදු ආර්ථික දත්තවලින් පමණක් මැනිය හැකි දෙයක්ද නොවේ. අද දවසේ සංවර්ධනය ලෙස පිළිගන්නේ
මානව සංවර්ධනය. ඒ කියන්නේ සංවර්ධනයට කේන්ද්‍රීය විය යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සහ ජනතා සංවර්ධනය. මිනිස්සු නිසි ආකාරයෙන් කනවද? බොනවද?, ඔවුන්ට පිරිසිදු පානිය ජලය, පාසල් පහසුකම්, ප‍්‍රවාහන පහසුකම්, රැකී රක්ෂා අවස්ථාවන් ආදිය තිබේද යන සාදක මානව සංවර්ධනයේදී සලකා බලනවා. මෙවැනි සංවර්ධන ක‍්‍රමයක් ඇති කිරීමට ප‍්‍රබල විධායක ක‍්‍රමයක් අවශ්‍ය නැහැ.


මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය ශී‍්‍ර ලංකාවට හදුන්වා දුන් 1977 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකරණය වස්තු කොල්ලයක් බවට පරිවර්තනය කර ඇති බවයි.


77 සිට අද දක්වාම මේ රටේ ආණ්ඩු ආණ්ඩු පාලනය කරනවාට වඩා මේ රටේ වස්තු කොල්ලකා තිබෙනවා. මෙය ඉතා බිහිසුණු තත්ත්වයක්. රටේ පාලකයෝ තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකනවා නම් එහෙම රටකට කවදාවත් ගොඩ එන්න බැහැ. ගැලවෙන්න බැහැ. එය ඉතා පරණ කාලේ තිබිච්ච අශීලාචාර ලක්ෂණයක්. 

මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනය පැවැත්වුයේ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළා. 


විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ අපි දැන් කුඩුවලින් ස්වයංපෝෂිතයි. අපේ ප‍්‍රධාන ආහාරය කුඩු. කුඩුවලින් ස්වයංපෝෂිත වූ රාජ්‍යයක් ලෙස අපිට මහ ගෞරවයක් තියෙනවා. කුඩු අල්ලනවා එත් ද`ඩුවම් නැහැ. විකිණෙන්නෙත් නැහැ. කුඩු වාෂ්ප වෙලා යනවා. ඒ නිසා මේ හැම දේකම දේශපාලනයක් තියෙනවා. නීතියක් නැති රටක් කොහොමද සංවර්ධනය වන්නේ. ඒ නිසා සෑමදෙනාව සාධාරණය වෙනුවෙන් මනා රාජ්‍ය පරිපාලනයක්, සාධාරණ පොලීසියක් ඒ වගේ අල්ලස හා දූෂණ වංචා පිටුදැකීමට තොරතුරු දැන ගැනීමේ අයිතියක් යන සියල්ලක් දිනා ගැනීම සඳහා සියලූම පක්ෂවලට අපි ආරාධනා කරනවා. 


හිටපු ජනාධිපති චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගිවී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතාද ඊට අමතරව බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල සහ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.


No comments

Powered by Blogger.