Header Ads

ආණ්ඩුවේ ජනපතිවරණ මෙහෙයුම ඇරැඹේ


මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බිම් මට්ටමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව ලබන 17 වැනිදාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධානය කොට අවසන් කරන ලෙස ශ්‍රී ලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා විසින් ආසන සංවිධායකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.


මේ ආසන බලමණ්ඩල ප්‍රතිසංවිධානයෙන් පසු ශ්‍රී ලනිපයේ
මහ සමුළුවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර, ජනාධිපතිවරණය ඉලක්ක කර විශේෂ ඇමැති මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. මේ අතර මැතිවරණය ඉලක්ක කර මේ සතියේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායක රැස්වීම් සතිපතා පැවැත්වීමටද සැලැසුම් කර ඇති අතර, එම රැස්වීම්වලදී ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලට අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිතය. මීට අමතරව නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ සමිති ප්‍රතිසංවිධානයද මේ වන විට ආරම්භ කර ඇත.



මේ අතර ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට අදාළව ආණ්ඩුවේ සියලු පක්ෂවල සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර ඒ සඳහා වෙනම කමිටුවක්ද පත්කර තිබේ. මෙම කමිටුව සතිපතා රැස්වන බවත් ඊට රාජ්‍ය මාධ්‍ය, සංස්ථා ප්‍රධානීන් සහ වෘත්තිකයන් පිරිසක්ද ඇතුළත්ය. මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, පසුගිය සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාද සඳහන් කර තිබුණේ ලබන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවයි.

No comments

Powered by Blogger.