Header Ads

ජනපති සටනට සජිත්-රනිල් එක්වෙති

ලබන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකඟතාවක් ඇති කිරීමේ මෙහෙයුමක් දෙපාර්ශ්වයට
සමීප ජේ‍යෂ්ඨයන් පිරිසක් ආරම්භ කර තිබේ.



ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයන් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර, එම සාකච්ඡා එකඟතා කිහිපයක් සහිතව නිමා වී ඇත.




පසුගිය වසර දෙකේදී පැවැත්වුණු මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගය නොමැතිව බිම් මට්ටමේ ඡන්ද එ.ජා.ප.යට ලබාගත නොහැකි බව එ.ජා.ප. නායකත්වය අවබෝධ කර ගැනීම හේතුවෙන් මෙලෙස ප්‍රේමදාස මන්ත්‍රිවරයා සමඟ එක්වීමට වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව එ.ජා.ප. ජේ‍යෂ්ඨයෝ අවධාරණය කරති.




එමෙන්ම අලුතින් පිහිටු වූ එ.ජා.ප. නායකත්ව මණ්ඩලයෙන් පසුගිය මැතිවරණවලට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව තේරුම් ගෙන ඇති එ.ජා.ප. ජේ‍යෂ්ඨයන් නායකත්ව මණ්ඩලය නිසා සජිත් ප්‍රේමදාස මහතාව අෑත් කර ගැනීම අනුවණ ක්‍රියාවක් බවද වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.




මේ අනුව ඉදිරියේදී රනිල්, සජිත් හමුවක් පැවැත්වීමට නියමිතය. එහෙත් එම දිනය පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති අතර බොහෝ දුරට ඉදිරි සති දෙක ඇතුළත එම හමුව පැවැත්වෙනු ඇත.




මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තමන්ට හිතවත් පිරිසක් සමඟ පක්‍ෂයේ ආරම්භ කර ඇති මෙහෙයුම කඩාකප්පල් කර දැමීමද මේ හමුව මඟින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු අතර වෙයි.

No comments

Powered by Blogger.