Header Ads

වෙබ් අඩවි, සමාජයට වින කරන පිළිලයක් -කෙහෙළිය

මහනායක නාහිමිවරුන් ඇතුළු සමාජයේ අති ගෞරවනීය බොහෝ පිරිසකට අසභ්‍ය වෙබ් අඩවි මඟින් පදනම් විරහිතව මඩ ගසන විට එම වෙබ් අඩවි සාධාරණීකරණ කැර ආරක්ෂා කිරීමට
එජාපයේ තිස්ස අත්තනායක, මංගල සමරවීර මන්ත්‍රීවරුන් පෙනී සිටින බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
රටට සමාජයට විනයක් කරන පිළිලයක් වී තිබෙන මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය යම් තීරණයක් ගැනීමට යාමේ දී ඒවා ආරක්ෂා කරමින් විපක්ෂය කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ද ඇමැතිවරයා කීය.
මහනුවර පිහිටි ඇමැතිවරයාගේ කාර්යාලයේ දී ඊයේ (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම මේ බැව් පැවැසීය.
ඇතැම් වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ කොහි සිට දැයි කිසිදු තොරතුරක් නොමැති බවත් මෙරට සමාජයට පුද්ගලයන්ට පදනම් විරහිතව මඩගසන සමහර අසභ්‍ය වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ අමෙරිකාව, එංගලන්තය වැනි රටවල්වල සිට බවත් රඹුක්වැල්ල මහතා කීය.
මේ වනවිට මෙරට ලියාපදිංචි පුවත්පත් සහ සඟරා 182ක්, ගුවන්විදුලි නාලිකා 48ක් හා රූපවාහිනි නාලිකා 21ක් පවතින බවත් එක් පුවත්පත් ආයතනයක්, ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා දෙක බැගින් පමණක් රජයට සම්බන්ධ බවත් මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මහින්ද රාජපක්ෂ යුගය තුළ මෙරට මාධ්‍ය නිදහස උපරිමයෙන් භුක්ති විඳින බවත් පැවැසීය.
තොරතුරු දැන ගැනීමේ අයිතිය එනිසා වඩාත් තහවුරු වී ඇත්තේ මෙම යුගයේ බව ද විපක්ෂයේ මංගල සමරවීරලා ගෙන යන මඩ මාධ්‍ය කලාව රටම දන්නා බව ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.
(dinamina)

No comments

Powered by Blogger.