Header Ads

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට ජවිපෙන් විකල්පයක්

රට තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ව අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට මාස තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට
යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමට රට තුළ සංචාරය කිරීමට අවසරය ලබා දීම හෝ නො දීම තීරණය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට සංශෝධනයක් ලෙස ජවිපෙ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාව මේ මස 17 සහ 18 යන දෙ දින තුළ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායකයන් තීරණය කර ඇත.
දේශපාලන වාසි
මෙම කණ්ඩායමට ඔවුන්ගේ පරීක්ෂණවලට අවශ්‍ය සහාය ලබා දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට, ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ගෙනෙන යෝජනාව හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට ඉදිරිපත් කළ එකක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තම පක්ෂය රට ගැන සිතා ඊට සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කරයි.
පරීක්ෂණවලට සහය නො දෙන බව ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය වැදගත් නොවන බව පවසන අනුර කුමාර දිසානායක තමන් ඉදිරිපත් කරන මෙම සංශෝධනය අනුමත කිරීමෙන් මෙම ප්‍රශ්නය සම්පුර්ණයෙන් පරාජය කළ හැකි බව පෙන්වා දෙයි.
සංශෝධනය
ජනතා විමුක්ති පෙරමුණේ මෙම සංශෝධනය මගින් ජනතා විරෝධතාවලට, මාධ්‍ය ආයතන වලට, මාධ්‍යවේදීන්ට සහ දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ට සිදු වූ පහර දීම්, රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් මිය යාම හා පහර දීමේ සිදුවීම්, නීතියේ පාලනය හා නීතියේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමට එල්ල වූ බාධා සහ ආගමික අසමගිය ඇති කිරීමට ඉවහල් වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
එක්සත් ජාතීන් පැවැත්වීමට නියමිත පරීක්ෂණයේ මූලිකම අංගයක් වන සිවිල් යුද්ධයේ අවසන් සමයේ සිදු වූ මානව හිමිකම් කඩ වීම ගැන එහි නිශ්චිතව සඳහන් නොවේ.
නමුත් ඔවුන් ඉදිරිපත් කළ කරුණු හය යටතේ එක් අංගයක උතුරු පළාතේ හා අනිකුත් පළාත්වල සිදු වූ පැහැර ගැනීම් හා මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ ව වාර්තා වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
සංදේශය

No comments

Powered by Blogger.