තංගල්ල ඝාතන නඩුව ඉවතට විසිවීමේ අවදානමක්
තංගල්ලේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවක කුරාම් ෂෙයික් ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය රංචු ගැසී දූෂණය කිරීමේ චෝදනා මත තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනෙකුට
එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව ඉවතට විසි වීමේ අවදානමක් පැනනැගී ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.ඊට හේතුව ලෙස සදහන් වන්නේ, අදාළ නඩුව දැනට විභාග කරමින් සිටින මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය උසස්වීමක් ලැබ අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වීමට නියමිතව තිබීමය.
මහාධිකරණ විනිසුරුවරැන් අතරින් ජ්‍යෙෂ්ඨතම විනිසුරු වන වල්ගම මහත්මිය, ලබන සතියේදී ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ විනිසුරුවරියක ලෙස පත් කරනු ලැබ, එම පදවියේ දිව්රුම් දීමට නියමිතය.
එසේ වුවහොත් ඇයට කුරාම් ෂෙයික් ඝාතන නඩුව විභාග කිරීමට නොහැකි වන අතර එම නඩු විභාගය සදහා වෙනත් විනිසුරු වරයකු පත් කිරීමට සිදුවේ.
නඩු විභාගයක් අතරතුරදී විනිසුරුවරයකු මාරු වුවහොත්, නැවත නඩු විභාගය මුල සිට ආරම්භ කරන ලෙස ඉල්ලා සිටීමට විත්ති පාර්ශ්වයට හැකියාව ලැබේ. යම් හෙයකින් විත්ති පාර්ශ්වය එසේ ඉල්ලා සිටියහොත් මෙතෙක් නඩුවේ සාක්ෂි දුන් සියලු සාක්ෂිකරුවන් මුල සිට සාක්ෂියට කැදවිය යුතුය.
එවැනි අවස්ථාවකදී මෙම නඩුවේ ඉතාම වැදගත් සාක්ෂිකාරිය ලෙස සැලකෙන, ඝාතනය වූ කුරාම් ෂෙයික්ගේ රුසියානු ජාතික පෙම්වතිය වූ තක්ෂේවා වික්ටෝරියා අලෙක්සන්ද්‍රෝවා මෙනෙවිය නැවතත් සාක්ෂි දීමට රුසියාවේ සිට මෙහි නොපැමිණීමේ ඉඩක් ඇතැයි වාර්තා වෙයි. ඇය නැවත සාක්ෂි දීමට නොපැමිණියහොත් නඩුවේ පැමිණිලි පාර්ශ්වයට විශාල අවාසියක් සිදුවී, නඩුව දුර්වල වී, විසිවන තත්ත්වයක් උද්ගත විය හැකිය.
මේ අතර, නඩුවේ සාක්ෂි දී අවසන් කර ඇති තවත් සාක්ෂිකාරියක වන එම හෝටලයේ කළමනාකාරවරියද විදේශගතව ඇතැයි වාර්තාවේ. ඇයද නැවත නොපැමිණියහොත් පැමිණිල්ලට අවාසියකි.
කුරාම් ෂෙයික් ඝාතන නඩුව දැන් පවතින්නේ අවසාන අදියරේ බවත් රෝහිණී වල්ගම මහත්මිය දිගටම නඩුව ඇසුවහොත් එය කෙටි කලකින් අවසන් වනු ඇති බවත් නීති ක්ෂේත්‍රයෙන් වාර්තා වෙයි. එහෙත් වහාම ඇය අභියාචනාධිකරණයේ විනිසුරුවරියක ලෙස උසස් කළහොත් එම නඩුව දුර්වල වී විසිවීමේ ඉඩක් තිබේ.
මෙම නඩුව පසුගිය කාලයේ දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විශාල ලෙස අවධානයට ලක් වූ අතර, නඩු විභාගය ආරම්භ කිරීමට අනිසි ලෙස ප්‍රමාද වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය පවා සිය විරෝධය පළ කළේය.
නඩු විභාගය ආරම්භවීමෙන් පසුව, ප්‍රධාන විත්තිකරු වන සම්පත් චන්ද්‍රපුෂ්ප දිගින් දිගටම අධිකරණය මගහැර සිටි අතර, ඉහළ බලපෑම් මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකරන බවට චෝදනා එල්ල විය. පසුව පොලිසිය විසින් ඔහු අත්අඩගුවට ගැනිණි. නඩුවේ සෙසු සැකකරුවන්ට පසුව ඇප දුන් නමුත් ප්‍රධාන විත්තිකරු මේ දක්වා රිමාන්ඩ් භාරයේ පසුවේ.
No comments