Header Ads

විජය ඝාතනයේ ඇතුලාන්තය.

රුවත් ගුණයත් දරාගෙන මිනිසකු උපදින්නේ කලාතුරකිනි. දෙවියන් ලෝකයට හොඳ මිනිසුන් මවා දී ආයේමත් අතදිගුකර ඔවුන් සුරලොවටම කැඳවා ගනී. ඉතින් කොතෙක් නම් හොඳ මිනිසකු වුව නික්මයන්නට කාලය එළැඹෙන්නේ එලෙස විය හැකිය. “නොගොස් ආ නොහැක. ආවොත් යා යුතු ය…” එහෙත්
මෙතරම් සාහසික ලෙසට? කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළකුට මෙතරම් විනාශකාරී අතිබිහිසුණු මරණයක් උරුමකළේ කෙලෙස ද? මේ කුහක මිනිසුන් වෙඩි තැබුවේ අවිහිංසක සමනලයකුට මිස සමාජයට මාරාන්තික පිළිලයක් වූ මැරයකුට මදාවියකුට නොවේ.
එදා මද්දහනේ හිරු ගිනියම්ව වැතිරුණේ තවත් නොබෝ වේලාවකින් සිදුවන්නට යන අපරාධයක රුදුරු බව විඳින්නට නොහැකිවම ය. මුළු රටක ආදරයට පාත්‍රවූ ආදරණීය මිනිසකුට එදා ඉතිරිව තිබුණේ ජීවිතයේ අවසන් හෝරාව ය. ඔහු කඳුළ, සුසුම, දුක තනිවම ජයගෙන පෙරමඟට ආ උදාර ගතිගුණ සපිරි මනුෂ්‍යත්වයට ගරුකළ මිනිසුන් අතර මිනිසෙක් ය. 1988 පෙබරවාරි 16 වැනිදින නොනැවතී ඉදිරියට ගලා ගිය ඔහුගේ පිරිපුන් දිවිය මොහොතකින් නතර කර දැම්මේ ගොරහැඩි වෙඩි උණ්ඩ වරුසාවකින් ය.
1945 වර්ෂයේ ඔක්තෝබර් 09 වැනිදා සීදූවේ කෝවිලගේ විජය ඇන්තනී කුමාරතුංග ළදරුවා තම ඉරණම නළලේ කොටාගෙන ක්ලේරා බියට්‍රිස් මාතාවගේ කුසින් මෙළොව එළිය දුටුවේ ය. වැඩිමල් සොහොයුරකු හා සොයුරියන් දෙදෙනකු අතර හුරතල් බඩපිස්සකු ලෙස නොමඳ ආදරය අත්වින්දේ ය. එහෙත් ජීවිතයේ අඳුරු දුක්බර සෙවණැලි ඔහු වෙතින් පලා ගියේ නැත. යන්තම් වයස අවුරුදු එකහමාරක ළඳරුවෙක්ව දෙපා ගාටන අවදියේම විජයගේ පියා දරු පිරිවර සහ බිරිය අතහැර නොඑනගමන් ගියේ තාත්තා පිළිබඳ සුවඳ පමණක් ඉතිරිකර තබා ය.
ඒ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග නම් විජයගේ ආදරණීය පියා අසල ගම් හතකට පොලිස් මුලාදෑනිකම දරමින් සිටියදී ය. එතැන් පටන් ඔහුට තාත්තා වූයේ තම ආදරණීය අයියණ්ඩිය වූ සිඩ්නි කුමාරතුංග ය. අයියා සමඟ හරිහරියට එකට අසුන් ගැනීමට පවා ඔහුතුළ වූයේ බියමුසු ගෞරවයකි. එය මිය යනතුරුම ඔහුතුළ පැලපදියම් වී තිබුණාට සැක නැත.
පාසල්ගොස් ගෙදර පැමිණෙන විජයගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලුවේ අයියා ය. වැඩට ගොස් පැමිණෙන අයියා හවස් යාමයේ තේ කෝප්යකින් සප්පායම් වී කෙලින්ම එන්නේ විජයගේ පොත් මේසය ළඟට ය. කුමක්දෝ බියකින් සැදී පැහැදී සිටිමින් ඔහු මහත් වුවමනාවෙන්ම පහුවදාට ඇති “ගෙදර වැඩ” කළේ ය. අක්කලා දෙන්නාගේත් නොමඳ ආදරයට නතුවෙමින් කෙලිදෙලෙන් ගත කළ ඔහුට තාත්තාගේ සෙනෙහස පමණක් නොමැති නිවෙසේ ආදරය පිරී ඉතිරී තිබිණි.
සංවේදී බවේ මෙන්ම මිනිස්කමේ ප්‍රතිමූර්තියක් වන් වූ විජය කිසිදු කලබලයක් හෝ කාටවත් කරදරයක් හෝ නොමැතිව ටිකෙන් ටික නව යොවුන්වියට එළැඹෙමින් සිටියේ ය. පාසලේදීත් විජය යහළුවන් හා ඇසුරු කළ අහිංසක පි‍්‍රය මනාප චරිතයක්ම වූයේ ය . 14 වැනි වියේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහුගේ අතිජාත මිත්‍රයකු වූ පැට්ට්‍රික් නම් යහළුවා අසනීප වූයේ ලියුකේමියා රෝගය උත්සන්න වීමෙනි. විජය එයින් මහත් වේදනාවටත් කැලඹීමටත් පත්වුණේ ය. ඉහළ පන්තිවල “ලොකු අයියලාට” කියා පැට්ට්‍රික් ට “ලේ” දීමට පෙරමුණ ගත්තේ විජයගේ කැපවීම තුළිනි. ගෙදර පැමිණි සොයුරා කිසිදු හේතුවක් නොමැතිව මුළුගැන්වී කඳුළු පිරි දෙනෙතින් යුතුව පසුවන බව දුටු අක්කලා විජයගේ සිත සැනසූහ.
“අනේ අක්කේ පැට්ට්‍රික් මැරෙයි ද…?” විජය ඇහුවේ කඳුළු පිස දමමින් ය.
කෙසේ වූවත් සියලු ප්‍රයන්තයන් නිෂ්ඵල කරදමමින් පැට්ට්‍රික් මළවුන් අතරට එක්වූයේ ය. එදා ඔහුගේ මිනිය බදාගත් විජය කෑගසමින් හැඬුවේ පෙට්ටිය ගෙදරින් එළියට ගන්නටත් ඉඩනොදීය. පුංචි එකාගේ මේ දුක්බර හැඬිල්ලට හා අපූරු මිතුදම කෙරෙහි කවුරුත් කතා කළේ ඔවුන්ගේ ද දෙනෙත්වලින් කඳුළු කඩා වැටෙද්දීය.
විජය ළමා කාලයේදී පවා මුදල් වියදමට බර නාස්තිකාරයකු නොවීය. අම්මාත් අයියාත් ජීවත්වීමට දරණ අරපිරිමැසීම ගැන ඔහු දැන සිටියේ ය. පාසලේදී ඉන්ටර්වල් එකට වියදමට දෙන පුංචි මුදල ඔහු ඉතිරි කළේ ය. ඒවා එකතුකරගෙන හාවුන්, මාලුන්, පරවියන් ගෙදරට ගෙනැවිත් ඇති කරන්නට පි‍්‍රය කළේ ය. උන්ට ආදරය කළේ ය. හාවකු ලෙඩ වූ දිනයක විජය නොකා නොබී ඌ ළඟටම වී සිටියේ ය. එතරම් සංවේදී සඳ එළියක් බඳු මටසිලිටු මිනිසකු අපට බොහෝ දේ කියාදී යන්නට ගිය හැටි සිහිකිරීම ද හදවතට තවමත් දුකකි. අමුතුම පරාර්ථකාමී ගතිගුණවලින් හෙබි විජය සැමවිටම සෙව්වේ බැලුවේ දුප්පත් මිනිසුන්ගේ දුක් ගැහැට ය. සමහරවිට එය ඔහුට ජන්මයෙන් දායාදවූවක් වන්නට ඇත. ඒ පුංචි සිත ඒ තරමටම නිකැළැල් ය. පිරිසුදු ය. සංවේදී ය.
ළමාවියේ සුන්දර සිහින අතර සැරිසරමින් මල්පියල්ලක් සේ සැහැල්ලුවෙන් ළමාවිය පසුකරමින් යොවුන් වියට ගොඩවැදුණු තම බාල පුතු කෙරෙන් බියටි‍්‍රස් මාතාව දුටුවේ කඩවසම් සුන්දර තරුණයෙකි. විජය තරම් ලස්සනට ජැන්ඩියට අඳින පලඳින තරුණයකු මුලු සීදුවේම නොසිටි තරම් ය.
පුරහඳක්වන් දිස්නයකින් යුතුව හරිම ලස්සන කඩවසම් දේහයකින් යුතුව හැදෙන වැඩෙන තම පුතු කෙරෙහි මවගේ ආදරය උතුරා ගලා නොගියානම් පුදුමයකි.
පොලිස් නිලධාරියකු ලෙස පොලිසියට බැඳෙන්නට වුවමනාවක් ද විජයට තිබිණි. එහෙත් දෛවයේ උරුමය මත ඉරණම එයට හාත්පසින්ම වෙනත් මඟක් ගත්තේ ය. එවකට පුවත්පතක පළව තිබූ දැන්වීමක් අනුව ඉල්ලුම්පතක් යොමුකළ විජය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව“ නම් සිනමා කෘතිය ඔස්සේ ය. ඒ වන විටත් සිහින් උසින් යුතුව අපූරු ගමන් විලාසයකට හුරු මේ ආධුනික තරුණ නළුවා කෙරෙහි යෞවන යෞවනියෝ කිසියම් උන්මාදයකින් මෙන් පෙළ ගැසී සිටියහ. 1969 වසරේ එලෙස ඇරඹි සිනමා ගමන්මඟ සිනමා ලෝලීහු මහත් ආදරයෙන් වැළැඳගත්හ. බොහෝ නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු විජයගේ සුන්දර රූපය තමන්ගේ චිත්‍රපටය සඳහා හසුකර ගැන්මට දැඩිසේ සැලකිලිමත් විය. එතැන්පටන් විජයගෙන් තොර සිනමාවක් නොතිබුණි. විජය ඝාතනය කෙරුණාට පසුව ද ඔහු රඟපෑ අවසන් චිත්‍රපටය තිරගතවිය. එය විජයට ආදරය කළ බොහෝ සිනමා ලෝලී ප්‍රේක්ෂකයන්ගේ හෘදයාංගම වේදනාව තවත් වැඩිවන්නට හේතුවක් වූවාට සැක නැත.
අති ශෝභමාන සිරුරකට උරුමකම් කී විජයට ආදරය නොකළ කෙල්ලක නොසිටි තරම් ය. දඟකාර යොවුන් තරුණියෝ විජයගේ ඡායාරූප තම පොත්පිටු අතර සඟවා ගත්තේ ඔවුන්ගේ සිහින කුමරා ලෙස ආදරයට පාත්‍රවෙමින් ය. වසර ගණනක් පුරා නොනැසී තබාගත් සිනමා අම්බරයේ දිග්විජය කළ විජය කුමාරතුංගයන් සිනමා ලෝකයට අහිමි වන්නේ ඔහු දේශපාලන නම් මඩගොහොරුවට අවතීර්ණ වීමේ පාපය නිසා යැයි සිතන්නට ඉඩකඩ ඇත.
විජය දේශපාලනයට පිවිසෙන්නේ කොමියුනිස්ට් පක්ෂ තරුණ පෙරමුණු සාමාජිකයකු ලෙස ය. විජය නම් රටක් වසඟ කළ නම කියූ පමණින් කවුරුත් දැනගත් මේ සොඳුරු තරුණයාගේ ගමන් මඟ වැටී තිබුණේ කිසිවකු නොදත් රළු ගල්මුල් ඇතිරූ මාවතක ය. එහෙත් කිසිවකින් නොසැලී ඒවාට මුහුණදීමට ඔහු තුළ ඉතිරිව තිබුණේ ප්‍රබල ශක්තියකි. 1982 වසරේදී දේශපාලන සිරකරුවකු ලෙස විජය අත්අඩංගුවට ගනු ලැබූවේ ය. වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටු අක්ෂර “එස්” හි 1020 හිමි සිරකරුවා වූයේ විජය යි. ඔහු සිරගෙදරින් නිදහස් වන්නේ 1983 ජනවාරි 18 වැනිදා ය. තම බිරිය හා දරුවන්ගෙන් වෙන්ව සිරගෙදර ගතකළ දිවිය ඔහුට මහත් වේදනාකාරී විය. අලුත උපන් පුංචි පුතු විමුක්ති පිළිබඳ මතකය හදවත තුළ නින්නාද දුන්නේ ය. එහෙත් කිසිවකු ඔහුට කාරුණික වූයේ නැත. ඔහු සිරගෙදර සිටි පුංචි පුතු අමතා ලිපි ලිව්වේ ය. එයින් තම හදවතේ තනිකම පිය සෙනෙහස යන්තම් සනසාගත්තේය.
සිනමාවේ දෙවැනි සක්විති තරමට ජීවය ලද විජය ඉන් ලැබූ ජනපි‍්‍රය පන්නරය ඔස්සේ දේශපාලනයේ මුලකුරු කීවේ දේශපාලන ගමනේ දිගු ගමනක් යන්නට ය. එහෙත් ඒ උදාර සිතුවිල්ලට වැඩිකල් ආයුෂ තිබුණේ නැත. 1977 වසරේදී වාමාංශික පක්ෂයක් වෙනුවෙන් විජය රටපුරා යමින් වේදිකාවට නගිද්දී විජය ජීවමානයෙන් දැකගන්නට ජනතාව මහත් කැමැත්තෙන් පෙළ ගැසුණේ ඔහුගේ දේශපාලන කතාව අසන්නට නොවේ. දෙවියන්ගෙන් ලද තිළිණයක් බඳු වූ විජය කුමාරතුංග නම් දේහධාරී කඩවසම් නළුවාගේ රුව දැක ගන්නට ය. ඔහු දැරූ යම් යම් දේශපාලන අදහස් නිසාම ඔහුට සතුරෝ සිටිය ද විජය ඒවා එතරම් ගණන් ගත්තේ නැත.
“මගේ මුහුණ දිහා බලාගෙන කවුරුත් මට වෙඩි තියන එකක් නැහැ…” විජය නිරන්තරයෙන්ම තම හිත මිතුරන්ට පැවසූ දෙයක් තිබිණි. විජය එලෙස තම හිතවතුන් ඉදිරියේ තැබූ විශ්වාසය කුරිරු ඝාතකයාගේ ඉලක්කය හරහා සුණු විසුණු වී ගියේ ය.
සමනලයෙකු නිහඬ කළ  තැබූ දේශප්‍රේමී  වෙඩි උණ්ඩය.
විජයගේ දේශපාලන ගමනට එරෙහිව ඒ වනවිටත් නැගීසිටි කණ්ඩායමක් විය. ඔවුන් විජය කෙරෙහි බැලුවේ වෛරයකින්ය. ඒ විජයගේ දේශපාලන ගමන් මඟ නිසාය. ඉන්දියන් සාම ගිවිසුමට පක්ෂව වැඩ කිරීමත් පළාත් සභාවලට කැමැත්ත ප්‍රකාශ කිරීමත් විජයට එල්ලවූ චෝදනාවන් ය. සාම ගිවිසුමට විරුද්ධව පළාත් සභාවලට එරෙහිව සටන් වදින එම සංවිධානය විජයගේ මේ ක්‍රියා කලාපය තරයේ හෙළා දැක්කේ ය. විජය ඝාතනය කළ යුතු බවට ඔවුන් තීරණය කරන්නේ ඒ නිසා ය.
මිනීමැරුම් කිහිපයක් කළ ලයනල් මිතුරකු වූ ටාසන් ද සමඟ එවකට පදිංචිව සිටින්නේ දම්පේ නිවෙසක ය. ඔවුන් සියලු මිනිස් ඝාතන සිදුකළේ දේශප්‍රේමී සංවිධානයේ නියෝග මත ය. දම්පේ නිවෙසට මෝටර් සයිකලයකින් පැමිණි අසෝක කළ යුතු වැඩක් ගැන කතා කරන්නට පසුදා “සෙන්මිචෙල්” හෝටලයට එන ලෙස ටාසන්ට හා ලයනල්ට කීවේ ය.
කිව් වේලාවට එතැනට ගිය ලයනල් හා ටාසන් හෝටලය ඉදිරිපස තණකොළබිස්සේ වාඩිවී අසෝක පැමිණෙනතුරු සිටියහ. අසෝකගේ පැමිණීමත් සමඟ කොකා කෝලා තුනක් ගෙන්වාගත් ඔවුන් ඉන්පසු කතා කළේ තවත් එක් මරණ වරෙන්තුවක් ගැන ය.
“විජය කුමාරතුංගව අයින් කරන්න ඕන…”
“ඒ මොකද…”
“අපි එයාට දෙතුන් වතාවක්ම දැන්වූවා. එයා ඒ ගැන අහන්නේ නැහැ… එයාට අවසාන නියෝගය දීලා තියෙන්නෙ… ඒ නිසා එයාව අයින් කරන්න ඕන…” මේ ගැන කිසිවකුටත් නොකීමට ද ටාසන් හා ලයනල්, අසෝක ඉදිරියේ පොරොන්දු වූහ.
පසුදා යළි කිරුලපන දී හමුවන දෙදෙනා නාරාහෙන්පිට හමුදා කඳවුර පසුකරගෙන ගොස් විජයගේ නිවෙස කිට්ටුව සිට විජය යන එන වේලාව සොයා බැලූහ.
“විජය හැමදාම හවස හයත් හතත් අතර මේ පාරෙන් මහගෙදරට යනවා…” තවකෙක් ටාසන්ට පිළිතුරක් දුන්නේ ඊට යාර දෙසීයක පමණ දුරින් පිහිටි විජයගේ මහගෙදර පෙන්වමින් ය.
සියල්ල ලකලැහැස්ති විය. සතියක් පුරා ඔවුන් විජයගේ ගමන් බිමන් ගැන ඉව ඇල්ලුවේ ය. විජයගේ ගේ ඉදිරිපිට ඇති කඩය මේ සඳහා කුලියට ගන්නේ ඔය අතර ය.
පසුදා උදෑසන ගරාජයක් ළඟදී අසෝක හමුවන ලයනල්ට විජය ඝාතනය කිරීම සඳහා ගිනි අවිය ලැබෙන්නේ ය.
“වැඩේ ඉවරවෙලා තුවක්කුව මෙහාට ගෙනැත් දෙන්න…” ඒ වනවිටත් රතු පැහැති මෝටර් සයිකලයක් එතැන නතර කර තිබිණි. එය රැගෙනවිත් තිබුණේ සතියකට කලින් සිට ය. තුවක්කුව හා මෝටර් සයිකලය තබන තැන් දැනගත් ලයනල් ඉන්පසුව කෙලින්ම ගියේ මිලදීගත් කඩය වෙතට ය.
කඩය තුළ සිට සෙසු වැඩකටයුතු සිදුවිය.
“මම තුවක්කුව අරන් එන්නම්…” ලයනල් අතුරු පාරක් ඔස්සේ ගරාජයට ගොස් කළු පැහැති බෑගයක් රැගෙන කඩයට ආවේ ය. තුවක්කුවක් හා ග්‍රෙනේඩ් එකක් එහි විය. වේලාව දහවල් එකොළහයි තිහට පමණ ඇත. ටාසන් මෙන්ම ලයනල් ද කඩය ළඟ හොරගල් ඇහිළුවේ විජය එනතුරු ය. ගතවූයේ අඩ හෝරාවකි. මෝටර් රියකින් විජය එතැනට ආවේ ය. ඒ වන විටත් ඔහුගේ නිවෙස ඉදිරිපට සුදු පැහැති ඩැට්සන් ඩබල් කැබ්රියක් විය. මුරකුටිය අසලට වන සේ පාරේ නතර කළ වාහනයෙන් බැස ගත් විජය නිවෙස තුළට ගියේ ය.
“විජය ආයෙත් එනවා… එතකොට වැඩේ කරමු…” ටාසන් ලයනල්ගෙන් ඇසුවේ ය. ඇඳක් මත තැබූ තුවක්කුව “ලෝඩ්” කල ලයනල් මැගසින් එක තුවක්කුවට සවිකළේ ය. ඒ වන විට තුවක්කුවේ “බට්” එක නවා තිබුණේ ය. ග්‍රේනේඩය බෑගය තුළ විය.
සියල්ල සූදානම් කළ ඔවුන් විජය යළි පිටතට එනතුරු ඇඟිලි ගැන්නේ ය. ගතවූයේ විනාඩි පහකි. තනිවම පැමිණි විජය නිවෙස ඉදිරිපිට කා සමඟ හෝ කතා බස් කරන්නට විය.
“වරෙන් යන්න…” ලයනල් ටාසන් සමඟ මෝටර් සයිකලයට නැඟ ගත්තේය. කළු බෑග් එක ඔඩොක්කුවේ තබාගෙනම වෙපන් එක අතටගත් ලයනල් විජය සිටි තැනට ගොස් බයිසිකලයේ ඉන්දෙද්දීම පිට පිට වෙඩි දෙකක් තැබුවේ ය. පිටුපස හැරී සිටි විජය ලයනල්ගේ පැමිණීම දුටුවේ නැත. වෙඩි පහරින් විජය බිම ඇද වැටුණේ ය. ඉන්පසු බයිසිකලයෙන් බැසගත් ලයනල් යළි විජය ළඟටම ගිහින් විජයගේ ඔළුවට වෙඩි කිහිපයක් තැබුවේ ය. ඉන් නොනැවතුණු ඔහු විජය සමඟ කතාබස් කරමින් සිටි පුද්ගලයාට ද වෙඩි තැබී ය.
ටාසන් ඒ වන විටත් මෝටර් සයිකලය පණගන්වාගෙන කිරුලපන දෙසට හරවාගෙන සිටියේ ය. විජය අත තිබී වැටුණු ලිපි ගොනුද පරීක්ෂා කර බැලූ ලයනල් බිම වැටී තිබූ තුවක්කුව ගෙන ආ බෑගය ද අහුලාගෙන දිවගෙන විත් මෝටර් සයිකලයට නැග එතැනින් පලා ගියේ ය.
රිදී තිරයේ මෙන්ම සැබෑ ලෝකයේදීත් අයුක්තියට, අසාධාරණයට එරෙහිව මෙන්ම දුප්පතුන්ගේ දුක හඳුනාගත් විජය කුමාරතුංග නම් අසහාය සුපසන් මිනිසා දේශප්‍රේමී යැයි කියාගත් එම කණ්ඩායමේ නරුම දේශපාලනය විසින් අමු අමුවේ ලේ ගලන ගොදුරක්ව මහ පොළොව මත පතිත විය. තවත් බොහෝ කලක් යහපත් මිනිසුන් හා ජීවත්වීමට හොඳහැටි ඉඩකඩ තිබූ විජය නම් මිනිසා නොසිතූ මොහොතක යළි නොනැගිටින ලෙස බිම හෙළුවේ එලෙස ය. ඝාතනය සිදුවූ ස්ථානයේ හිස් පතොරම් 9 ක් බිම වැටී තිබුණු අතර ඒ. කේ. 47 ස්වයංක්‍රීය වර්ගයේ ටී 56 ගිනි අවියකින් නිකුත්වූ ඒවා බව අතිරේක රස පරීක්ෂක එච්. ඒ. කේ මෙන්ඩිස් මහතා විසින් හඳුනාගෙන නිගමනය කර තිබිණි.
අමානුෂික ලෙස විකෘතිකොට වෙඩිතබා හඳුනාගත නොහැකි ලෙස විනාශ කළ ඔහුගේ පියකරු මුහුණ හඳුනාගන්නට පවා හිතන්නටවත් බැරි තරම් ය. මේ විජය කුමාරතුංග යයි හඳුන්වාදෙන්නට පණ කඳක් හැඩරුවක් ඉතිරිව තිබුණේ නැත.
කළු පැහැති ෆයිල් කවරයක්, දිවා ආහාරය සඳහා වූ ආරාධනා පත්‍රයක්, චිත්‍ර අඳින පොතක්, හිසට පලඳින “විග්” එකක්, සෙරෙප්පු ජෝඩු දෙකක් අවිහිංසාව ගරුකළ අංකූර දේශපාලනඥයකුගේ මෙන්ම තෙත පපුවක් තිබුණ හොඳ මිනිසකු බිහිසුණු ඝාතනයේ නඩු භාණ්ඩ මෙන් එකපිට එක ගොඩකට ගැසුණේ ය.
වයස අවුරුදු 30 ක් පමණ වූ කොණ්ඩය බොකුටු අඩි 5 ක් පමණ උසැති, කොණ්ඩය හරිහැටි නොපීරූ උල් නැහැයක් හා දරදඬු මස්පිඩු වැඩුණු සිරුරකින් හෙබි කෙට්ටු තැනැත්තකු විජය ඝාතනය කළ බවට තොරතුරු ලැබිණ.
විජය ඝාතනය කළ පුද්ගලයන්ගේ හැඩරුව අනුව ඔවුන් සොයා ගිය නිලධාරීන් කූඹිකැලේ ප්‍රදේශයෙන් අල්ලාගත් අයකුගෙන් ලැබුණ තොරතුරු අනුව ලයනල් නමැත්තකු ගැන හෝඩුවාවක් ලබා ගත්තේය. ජාතික රහස් ඔත්තු සේවයේ ඒ වන විටත් ආරක්ෂිතව තිබූ ලයනල්ගේ රූපය ඇතුළත් ඡායාරූපයක් පරීක්ෂණ වලට පහසුවක් ගෙන දුන්නේය.
ඒ අනුව ලයනල්ගේ ඡායාරූප කිහිපයක් මුද්‍රණය කළ නිලධාරීන් ඒවා ඡායාරූප විමර්ශකයන් වෙත ලබා දුන්නේ ය.
උප පොලිස් පරීක්ෂක විමලරත්න යටතේ ක්‍රියාත්මක වූ ඩයස් හා බැසිල් සතුව ද විජයගේ ඝාතකයා වූ ලයනල්ගේ ඡායාරූප තිබිණි.
ඒ 1989 මාර්තු මස 14 වනදා ය. කොළඹ විශ්වවිද්‍යාලය අසලට එන එක්තරා පුද්ගලයකු ගැන ඔත්තුවක් ඩයස් රාලහාමිට ලැබී තිබුණේ ය. ඩයස් බැසිල් සමඟ එතැනට ගියේ ය. ග්‍රෙගරි පාර දිගේ ඇවිද යන ඔවුන් ඉදිරිපසින් යන තරුණයකු දුටුවේ ය. ඒ සැණින් ඩයස්ගේ හිතට කිසියම් මතකයක් නැගුණේ ය.
“ඔය එන්නේ ලයනල්…” ඩයස් සිය සහයකයා වූ බැසිල්ට කීවේ ය.
“ලයනල්”
තමන් පසුකර යන තරුණයා දෙස හැරුණු ඩයස් කියන්නට විය. ඒ සැණින් තරුණයා එකවරම හැරී බැලුවේ ය.
“ලයනල් කොහේද යන්නේ” ඩයස් යළි විමසුවේ ය.
“මම ලයනල් නෙමේ ප්‍රනාන්දු…” වහා ඔහු ළඟට ගිය ඩයස්, තරුණයා සෝදිසි කළේ ය. ඒ සැණින් ඔහු සිය හැඳුනුම්පත ඩයස් වෙත දිගු කළේ ය. ඇත්ත ය. එහි සඳහන්ව තිබුණේ හොරණගේ පියසිරි ප්‍රනාන්දු ලෙසිනි. ඒත් තමන්ගේ සැකය ඊට වඩා නිවැරැදි බව දත් ඩයස් තරුණයාගේ දෑත් පිටුපසට කොට අල්ලා ඉනේ තිබූ පටිය ගෙන බැසිල්ගේ උදව්වෙන් ඔහු ගැටගැසුවේ ය. පසුව ත්‍රිවිලරයක නැග ඔහුව ද රැගෙන ගිය ඩයස් ග්‍රෙගරි පාරේ කාර්යාලයට ඇතුළු වූයේ “සර් ලයනල්ව ඇල්ලුවා කියමිනි…” පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මෙතෙක් වේලා පියසිරි ප්‍රනාන්දු ලෙසින් පෙනීසිටි ඔහු තමා ලයනල් බව කීවේ ය.
“උඹ නේද විජයව මැරුවේ…?”
ඊට හිස සෙළවූ ලයනල් විජය මරා දමන්නට කළ සියලුම සැලසුම එක්ක් නෑර හෙළි කළේ ය. විජය ඝාතනය කළ අයුරුත් ඊට සම්බන්ධ වූූවන් ද හෙළිකළ ඔහු ටාසන් ගැන කියන්නට ද අමතක කළේ නැත. ඝාතන හතළිහක් පමණ සිදුකළ ලයනල් කොළඹ අපරාධ විමර්ශන ඒකකය මඟින් රහස් පොලිසියට බාර කෙරිණි.
පසුව එවකට රහස් පොලිස් අධ්‍යෂකව සිටි චන්ද්‍ර ජයවර්ධන මහතා විසින් ලයනල්ගේ ප්‍රකාශය පිටු 179 ක් පුරා සටහන් කෙරිණි.
“උඹ විජයට වෙඩි තියලා ඉවරවෙලා ආයෙත් ළඟටම ගිහින් වෙඩි තිබ්බේ ඇයි….?” පොලිස් නිලධාරියකු ලයනල්ගෙන් විමසුවේ ය.
“මම හිතුවා විජය කුමාරතුංගට හරියට වෙඩි වැදුණේ නැහැ කියලා… ඒ නිසා තමයි වැටිලා ඉන්නකොට ළඟටම ගිහින් වෙඩි තිබ්බේ…”
1989 මාර්තු මස 24 වනදා සවස 6.50 ට ලයනල් සිය ප්‍රකාශය රහස් පොලිසිය හමුවේ අවසන් කළේ ටාසන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ය.
විජය ඝාතනය කොට පෙබරවාරි 14 වැනි දිනට වසර 26 ක් ගෙවී ගොස් ඇත. එහෙත් වරින් වර ඔහු ස්මරණය කරමින් තවමත් සටහනක් තැබෙනු ඇත. ඒ හිනාව, රූපකාය, හඬ තවමත් අපට සිහියට නැගෙනු ඇත. අදූරධර්ෂී දේශපාලනයේ කුරිරු ඉලක්කයක් ලෙස සිත්පිත් නැති තුවක්කු උණ්ඩයකට බිලිවූයේ විජය කුමාරතුංග නමැති කලාකරුවා, දේශපාලනඥයා පමණක් නොවේ. මුළු ජරාජිර්ණය වූ සමාජයකම ඔඩුදිවූ කෲරත්වයක ඉස්මතුවීම ඔස්සේ ලුහුබැඳ ගිය මනුෂ්‍යත්වයත් සංවේදීබවේ ප්‍රතිමූර්තියක් නම් වූ ශ්‍රෙෂ්ඨතම ධර්මතාවන් ය. මිනිසුන් ජීවිත වේදිකාවෙන් බැස ගියද ඔවුන් රඟපෑ ශ්‍රේෂ්ඨ භූමිකාවන් මෙලොව ඇතිතාක් කල් පවතිනු ඇත.
මිතුරන්ටත් බලන්න SHARE කරන්න. 

No comments

Powered by Blogger.