ලොතරැයි වෙළෙඳුන් වර්ජනයේ: අලෙවිය පහතට
රටේ ප්‍රදේශ කීපයක ලොතරැයි වෙළෙඳුන් වර්ජනයක් දියත් කිරීමත් සමඟ ලොතරැයි වෙළඳාම පහත වැටී ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසයි.
ලොතරැයි පතක මිල රුපියල් දහයකින් වැඩි කිරීමත් ඊට සමානුපාතිකව කොමිස් මුදල ඉහල නොදැමීමත් හේතුවෙන් මෙම වර්ජනය දියත් කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ සංදේශයට පැවසීය.
මහනුවර පැවති උද්ඝෝෂණයක දී අදහස් දැක්වූ නාවලපිටිය ලොතරැයි අලෙවි නියෝජිත ධර්මසේන විමලධර්ම කියා සිටියේ මිල ඉහල දැමීම මගින් වෙළඳුන්ට විශාල අසාධාරණයක් සිදුවන බවය.
"අපි ජාතික ලොතරැයි මණ්ඩලයට කියනවා මේ වැස්සේ තෙමි තෙමී අවුවේ වේලි වේලි ආණ්ඩුවට ජාතික ධනය මුදලින් එකතුකරලා දෙන මේ අහිංසක මිනිසුන්ගේ දුක වේදනාව තේරුම් අරගෙන තිබුණු මිල වන රුපියල් විස්සටම ටිකට් එක අලෙවිකරන්න ඉඩ දෙන්න කියල." යනුවෙන් ඔහු ඉල්ලීමක් කළේය.
කෙසේ නමුත් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර තිබුණේ වැඩිකළ මිලට අලෙවිකළ නොහැකිනම් වෙළඳාමෙන් ඉවත් විය හැකි අතර වෙනත් පිරිසකට එම කර්තව්‍යය භාරදිය හැකි බවය.
ලොතරැයි පතක මිල රුපියල් තිහක් දක්වා ඉහල දැමීම හේතුවෙන් තමන් උපයන මුදල තවදුරටත් පහත වැටී ඇති බව මාදම්පේ නගරයේ ලොතරැයි වෙළඳාමේ යෙදෙන ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් කියා සිටියේය.
"මම අවුරුදු විසි පහක් තිස්සේ කරන්නේ මේ රස්සාව. එයාල සීත කාමරවල ඉඳල තීරණය කරනවා මේක වැඩි කළොත් මෙච්චර ගානක් හොයා ගන්න පුළුවන් කියල. එයාල එන්නේ නැහැනේ මේ ටිකට් විකුණන්නේ කොහොමද කියල බලන්න." යනුවෙන් ඔහු පැවසීය.
No comments