Header Ads

මරණයෙන් පළා ආ සිරියානු දැරියක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියූ ආයාචනාත්මක ලිපිය


සත් හැවිරිදි සිරියානු දැරියක විසින් අමෙරිකානු අභිනව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ට ලියන ලද ලිපියක් මේ වන විට ලොව පුරා දැඩි ලෙස කථාබහට ලක්ව තිබේ.
බානා ඇලබෙද් නම් ඇය ජනාධිපතිවරයාට මෙලෙස විවෘත සටහනක් තබා ඇත්තේ, සිය ට්විටර් ගිණුම ඔස්සේ ය.
සිරියානු යුද්ධයට මැදිව සිටි බානා සිය පවුලේ සාමාජිකයින් ද සමග පසුගිය දෙසැම්බර් මාසයේදී සිරියාවෙන් පලා ගිය අතර මේ වන විට ඇය ජීවත් වන්නේ, තුර්කියේ ය.
බානාගේ සිය ට්විටර් ගිණුම පවත්වාගෙන ගොස් ඇත්තේ, මවගේ ද සහය ඇතිව ය.
බානා මෙම ලිපිය ලියා ඇත්තේ, ට්‍රම්ප් දිවුරුම් දීමට දින කිහිපයකට පෙරදී බවත් ඇය

රූපවාහිනිය ඔස්සේ කිහිප වරක් ට්‍රම්ප් දැක ඇති බව ත් ඇයගේ මව විදෙස් මාධ්‍යවලට පවසා ඇත.

බානා ඩොනල්ට් ට්‍රම්ප්ට ලියන ලද ලිපිය මෙසේ ය.


ආදරණීය ඩොනල්ඩ් ට්‍රම්ප්,
බානා ඇලබෙද් නම් මම සිරියාවේ ඇලැප්පෝ නුවර උපන් දැරියක වෙමි.
පසුගිය දෙසැම්බර් මාසයේ නැගෙනහිර ඇලප්පෝවෙන් පිටව යාමට පෙර මාගේ මුළු ජීවිතය ම ගෙවුණේ, මා උපන් දේශය වන සිරියාවේ ය.
යුධ ගැටුම් නිසා පීඩාවට පත්ව සිටින දහස් ගණනක් වූ සිරියානු දරුවන් අතරින් මා ද එක් අයෙකු විය.
නමුත් දැනට මම තුර්කියේ මාගේ නිවසේ සිට සාමය සතුට අත්විඳිමින් සිටිමි.
ඇලප්පෝහි මා ඉගනුම ලැබූ පාසල ද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත් විය.
ප්‍රහාරයේදී මගේ මිතුරන් බොහෝ දෙනෙක් මිය ගියහ.
මාගේ යහළුවන් පිළිබඳ මා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටිමි.
ඇලප්පෝවේදී මට සතුටින් කාලය ගත කිරීමට නොහැකි වූයේ, නගරය මරණයේ නගරයක් බවට පත්ව තිබූ හෙයිනි.
එහෙත් තුර්කියේ මම නිදහසේ කාලය ගත කරන අතර පාසල් යාමට ද අවස්ථාව හිමිවනු ඇති.
ජනාධිපතිතුමනි ඔබ ඇතුළු අප සියලු දෙනාට ම සාමය අත්‍යවශ්‍ය ය.
කෙසේ වෙතත්, මිලියන ගණනක් වූ සිරියානු දරුවන්ට මා ලබන නිදහස සහ සතුට ලැබීමට හැකියාවක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඔවුන් වේදනා විඳිමින් සිටිනුයේ, වැඩිහිටියන්ගේ වැරදි නිසාවෙනි.
තවත් නොබෝ දිනකින් ඔබ අමෙරිකාවේ ජනපති වනු ඇති. සිරියාවේ දරුවන් සහ පීඩාවට පත්ව පිරිස් ආරක්ෂා කිරීම ඔබට කළ හැකියි නේ ද?
සිරියාවේ දරුවන් වෙනුවෙන් ඔබ යමක් කළ යුතුයි. මක්නිසා ද යත් ඔවුන් ද ඔබගේ දරුවන් සේම වන බැවිනි. එසේ ම ඔබ මෙන් ම ඔවුන් ද සාමයට කැමති පිරිසකි.
සිරියාවේ දරුවන් වෙනුවෙන් යමක් කරන බවට ඔබ මට පොරොන්දුවක් දෙන්නේ නම් ඔබ මාගේ අලුත් මිතුරෙකි.
ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් යමක් සිදු කරන තෙක් මම මග බලා සිටිමි.
කෙසේ වෙතත් බානාගේ විවෘත ලිපියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මේ වනතෙක් පිළිතුරක් ලැබී නොමැත.
මේ අතර අමෙරිකානු අභිනව ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරය තුළදි මෙන් ම ඉන් පසුව ද අවධාරණය කර සිටියේ රුසියාව සමග තමා ශක්තිමත් සබඳතාවක් ඇති කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව ය.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සිරියාවේ යුද ගැටුම්වලදී එරට ජනාධිපති බෂාර් අල් අසාද්ට සහය පළ කර සිටින්නෙකි.
මැතිවරණ ව්‍යාපාරය තුළදී ට්‍රම්ප් සිරියාවේ ආරක්ෂිත කලාපයක් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය.
උපුටා ගැනීම - නිව්ස් ෆස්ට්



No comments

Powered by Blogger.