මෛත්‍රී සමඟ ආණ්ඩුවක් හදන්න විමල් - ගම්මන්පිල එකඟයි !
එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන සම්බන්ධතාව අත්හරින ඕනෑම අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගෙන ශ්‍රීලනිපය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශප්‍රේමී බලවේගවල එකතුවෙන් යුතු ආණ්ඩුවකට සහාය දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල එකඟතාව පළකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි ප්‍රකාශකයකු අදාළ මන්ත්‍රීවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධව සඳහන් කරමින් අප සමඟ පවසා සිටියේ රටේ ආරක්ෂක සහ ආර්ථික වැදගත්කමකින් යුතු මර්මස්ථාන තවදුරටත් විදෙස් රටවලට ලබා දීම වැළැක්වීමට සහ ඉදිරියේ දී රට කැබලිවලට බෙදී වෙන්වීමේ අවදානමෙන් රට මුදවාගැනීම වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බවය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන ද එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන සම්බන්ධය නැවතීමට සූදානම් නම් මෛත්‍රී ජනාධිපති යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට එකඟවන බව මීට පෙර පවසා තිබූ බවත් ඒ අනුව මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතර නායකයන් එකම මතයකට පැමිණ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මේ වන විට රට බේරාගැනීම වෙනුවෙන් තම පාර්ශ්වයේ සූදානම ප්‍රකාශයට පත්කර ඇති බැවින් දැන් ඒ පිළිබඳ සලකා බැලීමට වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්වවලට අවස්ථාවක් ඇති බවය.
චෝදනාවලට සහනයක් ලබා ගැනීම :
මේ අයුරින් විමල් සහ ගම්මන්පිල පාර්ශ්වය ගෙන ඇති තීන්දුව සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රකාශකයකු වෙතින් අප කළ විමසුමක දී ඔහු සඳහන් කර සිටියේ පසුගිය 06 වන දා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවත් හදිසියේ තීන්දු තීරණ වෙනස් කරගැනීමට මේ මන්ත්‍රීවරුන් කටයුතු කර තිබෙන්නේ ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට සහනයක් ලබා ගැනීම වෙනුවෙන් වන බවය.
තවද පසුගිය දා වත්මන් යහපාලන ගිවිසුම අවසන් වීමෙන් පසු තවත් කල් නොයවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම ව්‍යාපාරය නියෝජනය කරමින් කොළඹ පැවති සම්මන්ත්‍රණයක දී මහාචාර්ය නලීන් ද සිල්වා මහතා මෙම ඉල්ලීම සිදු කළ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගීවී සිටියහ.
මේ අතර විමල් - ගම්මන්පිල පාර්ශ්වය ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්ව එක්කරගෙන මෛත්‍රී ජනාධිපති යටතේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ප්‍රබල උත්සාහයක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද සිටින බව අප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
පසුගිය 06 වන දා විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට පැතිර ගිය හෝඩුවාව අවස්ථාවේ එවැනි තත්ත්වයක් මතුවී ඇත්නම් තමන්ට කළ හැකි සෑම උපකාරයක්ම කරන බවට ප්‍රධාන අමාත්‍යවරයා එහි දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත අනාවරණය කර සිටියේය.
Srilanka Mirror
No comments