Header Ads

ජනාධිපතිවරණයත්, අපේක්ෂකයාත් යන දෙකම නීතිවිරෝධියි – ජනතා විමුක්ති පෙරමුණ

ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ධූර කාලයේ රැදී සිටිමට හැකියාව තිබියදී හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීමට සූදානමක් තියෙනවා. මේ ජනාධිපතිවරණයත් නීති විරෝධියි වගේම එයට ඉදිරිපත්
වීමට නිත්‍යානුකූලවත්, සදාචාරාත්මකවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. යැයි ඊයේ(13) ජවිපෙ පැලවත්ත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,
ජනාධිපතිවරයා විසින් ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමට යන බව වාර්තා පළවෙමින් තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා දෙවන ධූර කාලය සඳහා ජනවරමක් ලබාගත්තේ 2010 ජනවාරි මාසයෙයි. එම දෙවන ධූර කාලය සඳහා දිව්රුම් දුන්නේ නෙැවැම්බර් මාසයෙයි. ඒ අනුව ගත්තාම නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට නියමිතව තිබෙන්නේ 2016 නොවැම්බර් මාසයෙයි. එම නිසා, මෙම ජනාධිපතිවරයාට 2016 නොවැම්බර් මාසය දක්වා ධූර කාලයේ රැුඳී ඉන්න පුළුවන්. එසේ තිබියදී හදිසියේ ජනාධිපතිවරණයකට යන්න අවශ්‍යතාවය තිබෙන්නේ කාටද? ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්නද? දේශපාලන ආර්ථික වශයෙන් රට මුහුණ දී තිබෙන අර්බුද විසඳන්නද? ශී‍්‍රලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතුවූ අර්බුදයක් නිසාද? ඒ කිසිවක් නොවෙයි, මෙම ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ වී තිබෙන්නේ තනි පුද්ගලයකුගේ බලය තහවුරු කරගැනීමටයි. මෙය තනි පුද්ගලයෙකුගේ තනි පවුලක බලයට තිබෙන කෑදරකමට තවත් වසර හයක් පාලන බලය සාක්කුවේ දමාගන්න දරන උත්සාහයක් පමණයි.
ජනාධිපතිවරණයක් පැවැත්වීමට තර්කය හදන්නේ 2010දී සම්මත කරගත්ත 18වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. එයින් එක් පුද්ගලයෙකුට දෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය යන සීමාව ඉවත්කරගෙන තිබෙනවා. 2010දී ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්වූවා. එම මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව 2/3 බලයක් ජනතාවගෙන් ඉල්ලා සිටියා. නමුත් ජනතාව 2/3 බලයක් මේ ආණඩුවට ලබාදුන්නේ නැහැ. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට විරුද්ධව ජනතාව ලබාදුන ඡුන්දයෙන් පත්වුණු මන්තී‍්‍රවරු කණ්ඩායමක් වරදාන වරප‍්‍රසාද දීලා ආණ්ඩුවට ගත්තා. එහෙම අල්ලස් දීලා හදාගත් සදාචාර විරෝධී 2/3 බලයෙන් තමයි 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තෙ. එනිසාම එම 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සදාචාර විරෝධීයි. එහෙත් සදාචාරයට පටහැනි පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කරගත් සංශෝධනය අනුවත් වත්මන් ජනපතිට තුන් වරක් ඉදිරිපත් වෙන්න බැහැ. රටේ නීති විශාරදයින් නීතිය පිළිබඳව හොඳින් දන්නා හිටපු අග විනිසුරුවරයාත් මෙම තර්කය ඉදිරිපත් කරනවා. මහින්දට තුන්වරක් ඉදිරිපත්වීමට නීති ප‍්‍රතිපාදනයක් නැහැ කියලා පැහැදිලි තර්කයක් තිබෙනවා. එය අපිත් විශ්වාස කරනවා. ඒ නිසාම ජනාධිපතිවරණය නීති විරෝධී ඡන්දයක් වෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි පරිච්ෙඡ්දයේ 31(2)හි තුන්වැනි වාරයකට ඉදිරිපත් වීමට නුසුදුසු බව මේ විදියට සඳහන් වෙනවා. “ජනතාව විසින් දෙවරක් ජනාධිපතිධූරයට තෝරා පත්කරගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසු එම ධූරයට ජනතාව විසින් තෝරාපත්කර ගැනීමට සුදුුස්සෙක් නොවන්නේය.” එනිසා එහි පැහැදිළිව සඳහන් වෙනවා ජනතාව විසින් යම් පුද්ගලයෙක් දෙවැනි වරටත් ජනාධිපතිධූරයට තෝරාපත් ගතහොත් ඔහු නැවත ජනාධිපතිවරණයකට නුසුදුස්සෙක් වෙනවා කියන කරුණ. මහින්ද දෙවන වරට තෝරා පත්කර ගන්නේ 2010 ජනවාරි මාසයෙයි. එවිට 2010 ජනවාරි වනවිටම මහින්ද නුසුදුස්සෙක් බවට පත්වෙලා. ඊට පස්සේ තමයි 18 වැනි සංශෝධනය මගින් ඊට අදාල වගන්තිය ඉවත් කළේ. ඒ සිදුවුනෙත් සැප්තැම්බර් මාසයෙයි. ඒ නිසා මහින්දට තුන් වරක් බැහැ. අපේ රටේ නීති කි‍්‍රයාත්මක වන්නේ අතීතියට බලපාන ලෙස නොවෙයි. සැම අවස්ථාවකදීම වර්තමානයේ සිට අනාගතයට පමණයි. ඒවගේම 14 වන පරිච්ෙඡ්දයේත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසුකම් සඳහන්කොට තිබෙනවා. ව්‍යවස්ථාවේ ස්ථාන දෙකකදීම මෙම නුසුදුසුකම් පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා.
ඒ වගේම ජේ.ආර්. ජයවර්දන මහතා විසින්ම ඉදිරිපත් කළ තුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව යම් පුද්ගලයෙකුට පළවෙනි ධූර කාලය තුළ වසර 4ක් සම්පූර්ණ වීමෙන් පසුව දෙවන ධූර කාලය සඳහා ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව තිබෙනවා. ”දෙවන ධූර කාලයට පත්වීමෙන් පසුව දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දී ආරම්භවන අවුරුදු 6 කාලයක් ධූරය දැරිය යුත්තේය” යනුවෙන් එහි සඳහන් වනවා. එනිසා මෙහි ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර නුසුදුස්සෙක් බවට පත්වෙලා තිබෙනවා. එය නොසලකා ජනාධිපතිවරණයක් කැඳවීමට කටයුතු කරනවා නම් කැඳවිය යුත්තේ දෙවන ධූර කාලයට වසර 6 සම්පූර්ණ වුණාට පසුවයි.
ඒ නිසා දැන් ආණ්ඩුව පඹ ගාලක පැටලිලා, මුළු රටම ඒ පඹ ගාලේ පටලවන්න හදනවා. මහින්ද රාජපක්‍ෂට ඕන වුණා පවුලේ බලය සදාකල් තියාගන්න. අපේ රටේ නරකම පාලකයා වූ ජේ.ආර්. හදපු ව්‍යවස්ථෘවත් වෙනස්කරලා මහින්දට ඕනෑ විදියට ව්‍යවස්ථාව හදාගත්තේ ඒ නිසයි. නමුත් ඒ ව්‍යවස්ථාවට අනුවත් මහින්දට තුන් වරක් බැහැ. මේ කරුණු නිසා ජනාධිපතිවරණයක් එනවා නම් ජනාධිපතිවරණය නීති විරෝධියි. එමෙන්ම අපේක්‍ෂකයාත් නීති විරෝධියි. මේ නීති තර්කය තිබෙන්නේ නැත්නම් ඒ පුද්ගලයන් දේශපාලන වශයෙන් විකිණිලා කියලයි අපි හිතන්නේ. ඒ නිසාම සදාචාරය පැත්තකට දාල බලයට ඇති කෑදරකමින් ඡුන්දයකට යන්න හදනවා. ජනාධිපතිවරණයක් අවශ්‍ය නැහැ කියලා සන්ධානයේම පක්‍ෂ ඉල්ලා හිටියා. වාසුදේව, ලියුම් ලිව්වා, මෛතී‍්‍රපාල සිරිසේන ලියුම් ලිව්වා. හෙළ උරුමය ජනාධිපතිවරණ එපා කියනවා. ඕන වෙලා තිබෙන්නේ රාජපක්‍ෂවරුන්ට පමණයි. ඒ ඔවුන්ගේ බලය ගිලිහෙන්න පටන් අරගෙන තිබෙන නිසා. දැන් මේ ආණ්ඩුවේ සැණකෙළි ඉවරයි. ඌව පළාත් සභා මැතිවරණයේ ඡුන්ද 69,000ක් සහ මන්තී‍්‍රවරු 7ක් අඩු වුණා. බදුල්ලේ ඡුන්ද ප‍්‍රතිශතය 48%ට වැටුණා. ඒ නිසා රාජපක්‍ෂවරු බයවෙලා තිබෙනවා.
මේ ආණ්ඩුව කියන නීති විරෝධී හැම දෙයක්ම පිළිගන්න කවුරු සූදානම් වුණත් ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැහැ. ඒ වගේම අපි හිතනවා ආණ්ඩුව ගහන ගහන පදයට නටන්න ජනතාවත් සූදානම් නැහැ. රටේ සියලූ දෙනා මූලික නීතියට ගරු කළ යුතුයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයා අගවිනිසුරු ඉදිරියේ රටේ මූලික නීතිය ආරක්‍ෂා කරන බවට දිවුරුම් දෙන්නේ. ඒ නිසාම ජනාධිපතිවරයා කරන නීති විරෝධී වැඩ වළක්වන්න අපිට අයිතියක් තිබෙනවා. ජවිපෙ ඡුන්දවලට බය නැහැ. මහින්දට බයත් නැහැ. 5/6ක බලයක් තිබුණු ජේ.ආර්.ටත් අපි බයවුණේ නැහැ. නමුත් තමන්ගේ වුවමනාවට ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඒකාධිපතියෙක් වෙන්න හදනවා නම් ඒකට ජනතාව බය වෙන්න ඕන. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැමති සියලූ දෙනා බය වෙන්න ඕන. නීතිය නොසලකන ඒකාධිපතියන් බිහි වුණොත් ඔහු මුළු පාලනයම ගෙනියන්නේ නීතිය පැත්තකට දාලයි. නීතිය නොසලකන එක මේ ආණ්ඩුවට මෝස්තරයක් වෙලා. නීතිය කඩන්න ඇබ්බැහි වෙලා. රාජපක්‍ෂවරු මැතිවරණ නීති කඩනවා. ඔවුන් නීතිය අතේ තියාගෙනයිා කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මැතිවරණ නීති නොසලකා ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ වේදිකාවට නගින්නේ.
රටේ පළමු පුරවැසියා මූලික නීතිය කඩකරනවා නම් අතපය බැඳගෙන ඉන්න අපි සූදානම් නැහැ. එහෙම ආවොත් කරන්න තියෙන දේ අපි ඒ වෙලාවට තීරණය කරනවා. ඒ නිසා අපි ජනාධිපතිට කියනවා නීත්‍යානුකූල පාරක එන්න කියලා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා. නීති කඩන්න එපා. ආණ්ඩුවට 2/3 තියෙන නිසා අඩුපාඩු හදලා ව්‍යවස්ථාව සම්මත කරගෙන එන්න. අපේ තර්කය වැරදි විදියට ගන්න එපා. ආණ්ඩුවට පැහැදිලි තර්කයක් නැති නිසා වෙනත් පැතිවලින් එනවා. ඒ නිසා ආණ්ඩුව උසාවිවල වේලෙන, නඩු නැති නීතිඥයන් ඉදිරියට දාල තියෙනවා. නීතිය ගැන හොඳින් දන්නා අගවිනිසුරු කියනවා බැහැ කියලා. ඒ නිසා ප‍්‍රශ්නයෙන් පැනලා යන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ප‍්‍රශ්නයෙන් පැනලා යන්න තමයි ආණ්ඩුව ”මහින්දට මෙච්චර බය ඇයි” කියලා පෝස්ටර් ගහන්නේ. අපි කියනවා මේක ලැජ්ජ නැති වැඩක් කියලා. සමහර පක්‍ෂ මහ පොළොවේ දේශපාලනය කරන අය නෙවෙයි. ආණ්ඩුව මේ කරන්න යන දෙයින් නරක පූර්වාදර්ශයක් ලැබෙනවා. ව්‍යවස්ථාව, නීතිය නොසළකන ඒකාධිපතියන් හදන්න යනවා. එය අනාගතයට විශාල අනතුරක්. ඒ අනතුර වැලැක්වීම සඳහා ජවිපෙ සියලූ දේ කරනවා. එනිසා අපි නැවතත් කියනවා ජනාධිපතිවරණය පැවැත්වීම නීති විරෝධියි. ජනාධිපතිවරණයට මහින්ද එන එකත් නීති විරෝධියි.
ඒ වෙනුවෙන් අපි ජනතාව දැනුවත් කිරීමේ විශාල වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. ව්‍යවස්ථාව ගැන නීතිය ගැන, ජනතාව දැනුවත් කරනවා. ඒ වෙනුවෙන් ජනතා බලයක් ගොඩනගනවා. දැනටමත් අපි පෝසටරයක් මගින් අපේ මතය කියා තිබෙනවා. ඒ වගේම සම්මන්ත‍්‍රණ මාලාවක් උද්ඝේාෂණ රැුලි මාලාවක් ඒ වගේම උද්ඝෝෂණ රැුසක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරනවා. නීතිය කඩලා ව්‍යවස්ථාව උල්ලංගනය කරලා යම් කෙනෙක් බලයට එනවා නම් අපට ඉතිරි වන්නේ නීතියක් නැති රටක්. එය ආපසු හරවන්න බැරි අනතුරක්. එය වළක්වන්න අපි සියලූ දේ කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්,
අපි ව්‍යංගයෙන් කියන්නේ නැහැ. කියන්න තියෙන දේ අපි කියලා තියෙන්නේ. 1982 පළමු ජනාධිපතිවරණයේදී අපේ පක්‍ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉල්ලූවා. 88 අපේ පක්‍ෂය තහනම් කරලා තිබුණේ. ඉන් පස්සේ ආපු සියලූම ජනාධිපතිවරණවලට අපි සකි‍්‍රයව මැදිහත් වුණා. දැන් තියෙන ප‍්‍රශ්නය තමයි එන්න නියමිතව තිබෙන්නේ නීති විරෝධී ජනාධිපතිවරනයක්. අපි නීති විරෝධී ජනාධිපතිවරණයක් බාරගන්න සූදානම් නැහැ. අපි උත්සාහ කරන්නේ නීති විරෝධී ඡුන්දය වළක්වන්නයි. එම විරෝධය නොසලකා ජනාධිපතිවරණයක් ආවොත් එහිදි මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න උපරිමයෙන් කටයුතු කරනවා.
මේ ආණ්ඩුවට නීතිය කඩන එක ස්ටයිල් එකක්. ඒ නිසා ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්කමක් තිබෙනනවා. නමුත් අනාගතයේ ඇතිවන දේශපාලන තත්වය පිළිබඳව දැන් කරුණු කියන්න බැහැ. එහෙම වුණොත් එම කරුණු අසම්පූර්ණයි. නිවැරදි නැහැ. ඒ නිසා අනාගතයේ සිදුවිය හැකි දේ ගැන අද කරුණු ඉදිරිපත් කරන්න බැහැ. මහින්ද වැරැද්දක් කරනවා නම් අපි ඒකට දායක වෙන්නේ නැහැ. මේ වෙලාවේ මැතිවරණයක් අනිවාර්ය නැහැ. ජනාධිපතිට තව අවුරුදු දෙකක් ධූරයේ ඉන්න පුළුවන්.
මේ ජනාධිපතිවරයා විධායක ක‍්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුනේ පළවැනි ධූර කාලය තුළයි. ඒ වෙලාවෙත් කළේ නැහැ. එහෙම නොකරපු ජනාධිපතිවරයා ඒක වහගන්න වෙන වෙන කතා කියමින් යනවා. පුද්ගලයෙක් සංවිධානයක් ඉලක්ක නොකර ඊළම අත්හරින්න කියලා සංකල්පයක් පිළිබඳව අදහස් පළකරනවා. ඊළාම් ක‍්‍රමය පරාජය කරන්න ජනාධිපති ක‍්‍රමය අත්‍යාවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා මේ උත්සාහ කරන්නේ ජනාධිපතිධූරය තව දුරටත් තියා ගන්නත් එම ජනාධිපතිධූරය පවුලට අයිති කරගන්නත් පමණයි. මේ දවස්වල ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ ජනාධිපතිවරයාට ගැලපෙන ඒවා නෙවෙයි.
මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද සහභාගි විය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.