සියවස් ගණනක් වැළලී තිබූ පොලොන්නරු යුගයේ කිලිනොච්චි ඉතිහාසය අහම්බෙන් මතු වෙයි (PHOTOS)
කිලිනොච්චියේ, ශිවනගර්, උර්තිරපුරම් ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ පෞරාණික වටිනාකමකින් යුත් නෂ්ටාවශේෂ (ගඩොල් තට්ටු, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය සහිත ගල් කැටයම්, වෙහෙරක නටබුන්) පොලොන්නරු යුගයට අයත් බවට පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබේ.
කැළෑ ප්‍රදේශයක පිහිටි මෙම ස්ථානය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 662 බලසේනාවේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිසක් විසින් සොයාගනු ලැබිණි.කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ කරන ලද මූලික පරීක්ෂණවලින් අනතුරුව මෙම සොයා ගැනීම තහවුරු වූ අතර එම භූමියේ තිබූ අඩි 60ක විෂ්කම්භයෙන් යුත් දාගැබක නටබුන්, අඩි 12ක් උසැති පොලොන්නරුව යුගයට අයත් ගඩොල් තට්ටු ද, ශ්‍රී පාදය සහිත ගල් පතුරු ද, ගල් කුළුණු ඇතුළු බෞද්ධ විහාරයක් පැවති බවට සාධක ද එහිදී නිරීක්ෂණය වී ඇත.
කෙසේ වුවද වඩා විධිමත් හා පුළුල් පරීක්ෂණවලින් මේ බව තහවුරු කරන තුරු, එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් බවට ඔවුන් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර 1940 පමණ කාලයේදී මෙහි කුඩා පුල්ලෙයාර් කෝවිලක් පැවති බව ත්, ඉන් අනතුරුව අදට ත් පවතින ශිවන් කෝවිල 1990 වසරේදී ගොඩනැගූ බව ත්, එම කාල වකවානු තුළදී පුල්ලෙයාර් සහ ශිව දෙවියන්ට වෙන් වෙන් වශයෙන් පූජා පවත්වා වන්දනාමාන කළ බව ත් ප්‍රදේශ වාසීහු පවසති.
මේ අතර, 1965 වසරේදී මෙම කෝවිලේ පූජකතුමා අවට කැළෑ ප්‍රදේශය එළිපෙහෙළි කිරීමේදී බුදුරුවක ශෛලමය කොටස් සහ බෝ ගසක් එම ස්ථානයේ තිබී හමු වී ඇති නමුත්, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පසුව එම බුද්ධ ප්‍රතිමා කඩා බිඳ දමා ඒ ආසන්නයේ ඇති ශිවන්කුලම් වැවට විසිකර ඇතැයි ගම්වැසියෝ පවසති.
එමෙන් ම මෙම සමාධි බුදුරුව අඩි 4 – 6 පමණ උස බව ද, ඒ සමග ම සඳකඩපහණක නටබුන් සහ සිංහයෙකුගේ අනුරුවක් මෙහි තිබී ඇත.
ත්‍රස්තවාදීන් මෙහි තිබූ බෝ ගස කපා දමා එහි තල් ගසක් සිටවා එම ප්‍රදේශය නාගලිංගම් යැයි හඳුන්වනු ලැබීය.
No comments