Header Ads

පුංචි පුතුට නිදි පෙති දී සැමියාගෙන් ලක්ෂ 5 “ගලවන්න” හැදු අම්මා

පුතකුගේ ආදරබර මවක් පමණක් නොව කුලගෙයක ආශිර්වාද ලැබූ පතිනියක ද වූවාය. එකම වහළක් යට ජීවිතය බෙදාහදා ගනිමින් පුංචි පුතුගේ සුරතල් බලමින් සොඳුරු ජීවිතයකට උරුමකම් කීවාය. රණවිරුවකුට බිරිය වී සිටි ඇයගේ සැමියා වූයේ ගුවන්හමුදාවේ සේවය කළ අයෙකි. සුකොමල සුන්දර තරුණ මවක වූ මේ ගැහැනිය තුළ
මෙවන් බරපතළ සිතිවිලි පෙළක් සීරුවට පෙළගැසුණේ කෙසේදැයි යමකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් විශ්වාස කළ යුතුව ඇත්තේ එයමය.
මනමේ කුමරුට දැඩිව ආලය කළ මනමේ බිසව සැනෙකින් සිතුවිලි උපදවාගෙන වැදි රජුට කඩුව දුන්නේ ය. සැමියා වූ කාලගෝලයාගේ බැඳුම් හැරදා, ගඟෙන් එතෙර කළ දික්පිටියාගේ කරමතින් ම දික්තලා ඔහු හා පලා ගියාය. මේ කතා පුවතේ කතා නායිකාව ද එවන් පරපුරකින් පැවත ආ ගැහැනියක වූවා ය.
එක්තරා දිනක ඇය තම පුංචි පුතුගේ අත අල්වාගෙන රැගෙන ගියේ මතුගම උසාවිය පාර ඉදිරිපිට රණවිරු මාවතේ පැවැත්වෙන උපකාරක පන්තියකටය. සුපුරුදු පරිදි තම බිරිය පුතුද සමඟ එහි යෑම ඇයගේ සැමියාට අමුත්තක් නොවී ය. එහෙත් වෙනදාට වඩා මෙහි අමුතු දෙයක් සිදුවී තිබුණු බව ඔහුට වැටහෙනවිට බොහෝ බරපතළ සිදුවීමක් සිදුවී තිබිණි.
“අනේ අපිව කවුදෝ කට්ටියක් පැහැරගෙන යනවා. එයාලා ලක්ෂ පහක් ඉල්ලනවා. අනේ අපිව බේරගන්න…” දුරකථනයේ කෙළවරින් ඇසුණේ එවන් ආයාචනයකි. තම බිරියගේ හඬ එකවරම හඳුනාගත් ඔහුගේ හදවත වේගයෙන් සැලීයනු දැනුණේ ය. තවත් මොහොතක් හෝ පමා නොවීම දිවගියේ මීගහවත්ත පොලිසියටය.
“සර්.. මගේ නෝනවයි දරුවවයි කවුදෝ පැහැරගෙන යනවා කියලා මට කතා කරල කිව්වා. එයාලා ලක්ෂ පහක කප්පමක් ඉල්ලනවාලු.” මහත් කැළඹීමට ලක්ව සිටි ඔහු පොලිසිය හමුවේ පවසා සිටියේ අසරණ ලෙසය.
දස හැවිරිදි පුතු ඒ වනවිට පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සූදානමින් සිටි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මතුගම ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයාට සිද්ධිය පිළිබඳ මොහොතකින් සැලවීමෙන් පසු මව සහ දරුවා කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගැනීම එකම අරමුණ විය. මේ සඳහා නොපමාවම මෙහෙයුමක් දියත් කෙරෙන්නේ වඩාත් උපක්‍රමශීලීවය. ප්‍රථමයෙන් කළේ සිද්ධිය පිළිබඳ මාධ්‍යට තොරතුරු යාම වැළැක්වීමය. ඉන්පසු කළේ කප්පම්කරුවන් වෙත තොරතුරු හෙළිවීම වැළැක්වීම ය. කප්පම්කරුවන් ඒ වනවිටත් පමිණිලිකරුට තර්ජනය කර තිබුණේ මේ බව පොලිසියට දැනගන්නට ඉඩ තැබුවහොත් බිරියත් දරුවාත් මරාදමන බවටය. එදින සවසත් ගෙවී ගියේ පැමිණිලිකරුට දරුවා බිරිය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවය. කෙසේ වූවද පොලිසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් රහසේ ම ක්‍රියාත්මක කරමින් තිබුණු බව කිසිවකු නොදැන සිටියේ ය. හුවමාරු වූ ජංගම දුරකථනවල අංක හරහා නවීන තාක්ෂණය සියුම් ලෙස යොදාගනිමින් දුරකථන කුලුනු හරහා පොලිසිය සෝදිසියේ යෙදෙමින් සිටියේ ය. කප්පම්කරුවකු පැමිණිලිකරුට ඇමතුම දී තිබුණේ ඔහුගේ බිරියගේ ජංගම දුරකථනය ඔස්සේ ය. ඒ අනුව එම අංකය නිරීක්ෂණය කරමින් එයට ඇමතුම් පැමිණෙන දුරකථන කුලුන සොයාගැනීමට නිලධාරීන් සමත් විය. ඊළඟ දිනයේදී ද ඇමතුමක් එන්නේ ඔහුගේ පුංචි පුතුගෙනි.
“තාත්තේ අපිව බේරගන්න” දරුවාගේ හඬ නෑසී යද්දී යළි දුරකථනයට කතා කළේ ඔහුගේ බිරිය ය.
“අනේ.. සල්ලි දීලා අපිව බේරාගන්න ඉක්මනට” ඇගේ හඬ දුක්මුසුය. ආයෙමත් කප්පම්කරු ද දුරකථනයෙන් පවසා සිටියේ ලක්ෂ පහේ කප්පම් මුදල බිරියගේ ගිණුමට දමන ලෙසය.
“නැත්නම් දන්නවනේ මුන් දෙන්නට වෙන දේ” මේ තර්ජනයෙන් වඩාත් අසරණව පැමිණිලිකරු කළයුතු කිිසිවක් නොදැන ගොළු වී සිටිද්දී ඔහුගේ සොහොයුරිය ඉල්ලා සිටියේ ලක්ෂ පහ කප්පම දී හෝ දරුවාවත් බිරියවත් බේරාගන්නා ලෙසය. එම මුදල ගෙවීමට ඇය ඕනෑම මොහොතක සූදානමින් සිටියා ය. පුංචි පුතුට බෙහෙවින් ආදරය කළ ඇය දරුවා පිළිබඳ දුකින් පසුවූවා ය. ඇය විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටියේ මෑතකදී ය. මේ නිසා ඇයට මුදලින් අගහිඟයක් තිබුණේ නැත.
“තමුන් අපි කියන විදිහට වැඩ කරන්න. කිසිම දෙයක් කිසිම කෙනකුට කියන්න එපා.” එය පොලිසියෙන් ඔහුට ලැබුණු උපදේශයයි.
මහා කැළඹීමට පත්ව සිටි පැමිණිලිකරු බිරිය හා දරුවා බේරාගැනීමේ වුවමනාවෙන් වේදනාවට පත්ව සිටිය දී ඔහුට තවත් දන්නා හඳුනන චීවරධාරියකු පිළිබඳ මතකයක් ආවේ ඔහුගෙන් හෝ සහනයක් ලබාගැනීමට හැකි වේයැයි සිතා ය. චීවරධාරියා ඔහුගේ පවුලේ හිතවතෙකි. චීවරධාරියා නළල පිරිමදිමින් කිසිවක් පිළිබඳ මතකය අවදිකළේ ය.
“අපේ කොල්ලවත් දවස් කිහිපයකින් දැක්කෙ නැහැ. මේකාවත්…” චීවරධාරියා තම ඥාති පුත්‍රයාට එවේලේම දුරකථන ඇමතුමක් ගත්තේ දෙගිඩියාවෙන් යුතුවය.
“සී.අයි.ඩී එකෙන් අර දෙන්නව හොයනවා. උඹ මේකට ගෑවිලා නැහැනේ.” චීවරධාරියාගේ ඇමතුම බොහෝ කෙටි එකක් විය.
හදවත ගිඩි ගිඩි ගා ගැහෙන තීරණාත්මක මොහොතක තම දරුවාත් බිරියත් පිළිබඳ ලැබෙන තොරතුර කුමක්වේදැයි ඔහුගේ හදවත තව තවත් ඔහුට පීඩා කළේ ය. නිහඬව කරබාගෙන ගෙවී ගිය නිහඬතාව අවසන් කරමින් ඔහුට ලැබෙන්නේ හදවතට සැනසිලිදායක ආරංචියකි. තම දරුවාත් බිරියත් මහියංගන ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවය.
එලෙස තොරතුරු ලැබෙනවිටත් පොලිසිය තම මෙහෙයුමේ අවසන් කොටසට එළැඹුණේ ය. කප්පම්කරු දරුවත් කාන්තාවක් පැහැරගෙන යන මාර්ගය, ඔවුන් අවසන් වරට රැඳී සිටි ස්ථානය ආදිය සියුම් තාක්ෂණය ඔස්සේ හඳුනාගැනීමට පොලිසිය සමත්ව සිටියේ ය. එහෙත් මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලය පෙනි පෙනී තිබියදී කප්පම්කරු ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීමත් මේ නිසා සැකකරුට පලායෑමට අවස්ථාව සැලසුණු නිසාත් පොලිසිය පත්වූයේ මහත් අසීරුතාවකටය. වහාම මාර්ග බාධක පනවා කප්පම්කරු කොටුකර ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කෙරෙන්නේ හදිසියේ ම ය. එහෙත් එයද ව්‍යර්ථ වූයේ පොලිසිය තමා පසුපස ලුහුබඳින බවක් කප්පම්කරුට ආරංචි වී තිබීම නිසා ය. කප්පම්කරු සියල්ල අතහැර පලාගොස් තිබුණේ ය.
මහියංගනය පොලිසියේ ද සහාය ඇතිව මවත් දරුවාත් ආරක්ෂිතව මතුගමට ගෙන ඒමට මිගහතැන්න හා මතුගම පොලිස් නිලධාරීහු සමත් වූහ. සිද්ධියේ සුලමුල සොයාගන්නට අවැසි වූ නිලධාරීහු මුලින් ම කළේ අදාළ කාන්තාවගෙන් තොරතුරු දැනගනිමින් අදාළ සැකකරුවන්ගේ හැඩරුවද විමසා සිටීම ය. සිදුවීම පිළිබඳ හොඳ හැටි තොරතුරු දන්නේ ඔවුන් දෙදෙනා මිස වෙනත් කිසිවකු නොවන බව පොලිසිය අවබෝධයෙන් ම ලත් තොරතුරු මත විමසා සිටියේ ය.
එහෙත් සැලකිය යුතු කිසිවක් කීමට තරම් අදාළ කාන්තාව නොදැන සිටියා ය. තවන් කප්පම්කරු නොදන්නා බවද ඇය එක හෙළාම පවසා සිටියා ය. කෙසේ නමුත් පොලිසියේ සැකය ඉව සහ උකුසු ඇස් සියලු පරීක්ෂණ වෙනත් අතකට හරවා දමන්නට තරම් යුක්ති සහගත වූයේ නොසිතූ ලෙසය. අත්දැකීමෙන් ම ලද යම් ඉවක් ඔස්සේ පොලිසිය මෙම කාන්තාවගෙන් දිගින් ිදිගටම ප්‍රශ්න කළේ ඇය කිසිවක් සඟවා සිටීමට තැත් කරනා බවක් පෙනීයාම තුළිනි. දැඩිව තීරණයක් ගත් පොලිස් අධිකාරිවරයා ඒ සඳහා ඇයගෙන් තදින් ප්‍රශ්න කිරීම ඇරඹුවේ ඒ වනවිටත් ඇයගේ ජංගම දුරකථන අංකයේ වාර්තාවත් කප්පම්කරු යැයි කී පුද්ගලයාගේ ජංගම දුරකථන වාර්තාවත් පොලිසිය විසින් ලබාගෙන තිබූ නිසා ය. මෙම සිද්ධියේ කිසියම් සැඟවුණ රහසක් ඇතැයි ඔහු කල්පනා කළේ ය. ඒ අනුව බලනවිට පැහැරගත්තා යැයි කියූ දින සිටම මොවුන් සිට ඇත්තේ එකට බවය.
ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් බොරුවට ආයුෂ නැති බව වටහාගත් අදාළ කාන්තාව කරකියාගත දෙයක් නොමැතිව බිම බලාගෙන නිහඬ වූවා ය. එහෙත් තවත් මොහොතකින් සියල්ල සිදුවූ ආකාරයෙන් ම හෙළිකර සිටින්නට ඇයට සිදුවිය. ප්‍රශ්න කිරීම් හමුවේ හතරවටින්ම කොටු වී සිටි ඇයට එසේ නොකර සිටීමට නොහැකි වූවා ය. කප්පම් කතාවේ මෙතෙක් නොඇසූ විරූ අමුතු කතාවක් පොලිසිය ඉදිරිපිට දිග හැරෙන්නේ අරුම පුදුම ලෙසය.
“මගේ මහත්තයාගෙන්ම ලක්ෂ පහක් ඉල්ලලා මේ වැඩේ ප්ලෑන් කළේ අපිම තමයි සර්..” දහඩියෙන් පෙඟෙමින් කඳුළු කැට ගලා හැලෙමින් ඇය මෙතෙක් රඟපෑ නාටකයේ අගමුල හෙළි කරන්නට වූවා ය.
කලින් කී චීවරධාරියාගේ ඥාතී පුත්‍රයකු වූ සැකකාර තරුණයා සමඟ ඇය සමීප හිතවත්කමක් පැවැත්වූයේ කලකට පෙරය. එකී තරුණයාට ඩිමෝ බට්ටා වාහනයක් ගැනීමට අවැසි වූයේ ය. ඒ අනුව ලක්ෂ තුනහමාරක් ඔහුට දීමටත් ඉතිරි ලක්ෂ එකහමාර ඇයට ලබාගැනීමටත් වූ පොරොන්දුව මත තම සැමියාගෙන් ලක්ෂ පහක කප්පමක් ගැනීමට සිතා සියල්ල සැලසුම් කළේ මොවුන්ම ය.
එදා උපකාරක පන්තියට ගිය ත්‍රිරෝද රථයෙන්ම ඇය පලා ගියා ය. කිසිවක් තේරුම් බේරුම් කරගත නොහැකිව බලාසිටි පුංචි පුතුට බීම බෝතලයකට නිදි පෙති දියකර බීමට දෙන්නට තරම් මේ මව නින්දා සහගත මවක වූවා ය. පිටරට සිට පැමිණි තම නෑනණ්ඩිය ළඟ මුදල් යහමින් ඇති බව දැනගත් ඇය තම පුතුට ඇය ආදරය බව දැන සිටි නිසා ලක්ෂ පහක මුදල ඇයගෙන් කඩාවඩාගන්නට සිතා මේ අමුතු නාඩගම රඟදැක්වීමට පිඹුරුපත් සැකසුවා ය. එහෙත් නීතියෙන් බේරී මෙවන් බිහිසුණු ක්‍රියාදාමයන් කිසිදා කළ නොහැකි බව වටහාගන්නාවිට ඇයගේ යුග දිවිය සුණුවිසුණු වී ගොස් තිබුණා ට සැක නැත. ලක්ෂ පහ ලබාදෙතියි යන සැකය හා විශ්වාසය මත ඇය වරින්වර බැංකුවට ගොස් ඇගේ ගිණුම ද පරීක්ෂාකොට බලා ඇත.
ඇය සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළ සැකකාර තරුණයා ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටියේ පොලිසිය මඟහරිමින් ය. සියල්ල හෙළිදරව් වී හමාරය. හැංඟි හැංඟි වෙස් බැන්දත් දැන් ඉතින් නැටිය යුත්තේ එළියේ ය. පොලිසිය ඇය ලවාම එකී තරුණයාට ඇමතුමක් ගත්තේ ය. කියන්න ඕනෑ දේත් කිව යුත්තේ කෙසේ ද යන්නත් ඇයට කියා දී තිබුණේ ය.
“අනේ මල්ලී මාව මහත්තය ගෙදරින් එලෙව්වා. මට ඉක්මනට මල්ලි මුණ ගැහෙන්න ඕනෙ. අනේ ඉක්මනට…” ඒ ඇගේ හඬය.
“ඉන්න අක්කේ.. මං ඉක්මනට එනවා. බදුරලියට එන්නම්. අක්කා එතනට එන්න.” ඔහුගේ හඬ ඇයට ඇසුණා ය.
කිසිවක් නොදත් සැකකරු ඇගේ කතාව විශ්වාස කරමින් ඇය කියූ තැනටම ආවේය. බසයෙන් බැස ඉක්මන් ගමනින් විත් ඇය සමඟ කතා කරන්නට සැරසෙන විටම සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීහු ඔහු කොටුකර ගත්තේ අසුරු සැනයකින් ය. තමා ඇයගේ උගුලට හසුවූ බව ඔහු දැනගත්තේ එවිට ය. සියල්ල සිදුවූයේ සිනමා පටයක දර්ශන පෙළක් පරිද්දෙනි. ඇගේ දෙනෙත් සැකකරුගේ දෙනෙත් එකිනෙක ගැටුණේ අනුන් හෙළන්නට කැපූ වළේ තමන් වැටුණාය යන හැඟීම දෙදෙනා තුළම පසක් කරවූ කලෙක මෙනි. සියල්ලට උඩගෙඩි දුන් තවත් සැකකාර තරුණයන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඉන්පසුවය. අම්මලාගේ
හැංගිමුත්තම් සෙල්ලම අවසානයේ හොරා පොලිස් රඟපෑම දක්වා දුරදිග යද්දී බියපත්ව බලාසිටි පුංචි පුතු තම පියාට බාර කළේ පොලිසිය විසින් ය.
එකම වහළක් යට ජීවිතය බෙදාහදාගත් තම ආදරණීය බිරිය දෙස ඔහු බැලුවේ දෙනෙතට ඉනූ කඳුළු අතරිනි. ඒ දුකටද කලකිරීමට ද කියා ඔහුට නොදැනිණි. තමන් රවටා බරපතළ වංචනික ක්‍රියාවක යෙදුණු බිරිය, අනෙකුත් සැකකරුවන් සමඟ ජීප් රථයට රැගෙන යන අයුරු ඔහු බලා සිටියේ තම පුංචි පුතු දෝතින් මිරිකාගත් වනම සිටියදී ය.
කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත මතුගම සහකාර පොලිස් අධිකාරි චන්දන ජයසිරි කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් මීගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල් රාජපක්ෂ, මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර හා බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි කළු පහන හා මහියංගන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම දෙමහෙයුමට එක්වූහ.
 පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සකස් විය.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.